නාමල්ගේ බිරිඳත් ඩුබායි යයි


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයෙහි ඊයේ (21දා) සවස 06.00 පමණ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදවා දැඩි ලෙස ආරක්ෂාව තර කර තිබේ .

 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබේ. ඊයේ (21 දා) සවස 02.25 ට හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ .

එමෙන්ම 21 දින රාත්‍රී 11.15 ට හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 141 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇත .

 ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් අද (22දා) අලුයම 12.50 ට හොංකොං බලා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 610 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ . ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ මහත්මිය සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ මහතා අද (22 දා) අලුයම 03.30 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇත .

කටුනායක ගුවන් තොටුපොළ සිට ඇමෙරිකාව බලා ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යන්නට ඇතැයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය .

කටුනායක- ටී.කේ.ජී.කපිල 



Recommended Articles