නාමල් ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව කළ විමර්ශනවලට නිතිපතිගෙන් තවත් උපදෙස් නෑ


අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කර මුදල් විශුද්ධිකරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව කළ විර්ශන වල උධෘත නීතීපතිවරයාට යවා ඇතත් මෙතෙක් උපදෙස් දී නැතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියට අද (13) දැනුම් දුන්නේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහි පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී රහස් පොලිසිය කළ දැනුම් දීම සළකා බැලු මහේස්ත්‍රාත්වරිය නීතීපතිවරයගේ උපදෙස් ලබාගෙන සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය ලබන අගෝස්තු 07 වැනිදා අධිකරණයට දැනුම් දීමට නියම කළාය.්‍

නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධියේ සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අමතරව නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, සුදර්ශ බංඩාර ගනේගොඩ, නමැති සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.

රුපියල් මිලියන 15 මුදලක්  සාපරාදී සාවද්‍ය පරිහරණය කර මුදල්    විශුද්ධිකරණය කළ බව සඳහන් කරමින් දූෂණ විරෝධි හඬ සංවිධනයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා 2015 වසරේදී මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු විමර්ශන සම්බන්ධයෙන් උධෘත නීතිපතිවරයාට යොමු කර ඇතත් මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නැතැයි දැනුම් දුන්හ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල යළි කැඳවන අගෝස්තු 07 වැනිදා විර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස නියම කළාය.  සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.



Recommended Articles