නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12ට අවසන්


පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (11දා) දහවල්  12ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මීට සමගාමීව සෑම දේශපාලන පක්ෂයක් හා ස්වාධීන කණ්ඩායමක් ජාතික ලැයිස්තුව යටතේ තෝරාපත් කර ගැනීමට සුදුසුකම් සහිත තැනැත්තන්ගේ ලැයිස්තුවක් අද දහවල් 12ට පෙර මැතිවරණ කොමිසමට භාර දිය යුතු බවද පෙන්වා දෙයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂක ලැයිස්තුව භාරදෙන අවස්ථාවේදී 2023 අංක9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව ජාතික ලැයිස්තුවේ සියලුම අපේක්ෂකයන් ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසමට භාර දිය යුතු වේ.

ජාතික ලැයිස්තුවේ නම් සඳහන් තැනැත්තන් හෝ පාර්ලිමේන්තු මැතිවරණයේදී  යම් මැතිවරණ කොට්ඨාසයක් සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රයක නම ඇතුළත් තැනැත්තන් හැර වෙනත් තැනැත්තන් මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට හැකියාවක් නොමැති බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ජාතික ලැයිස්තු සඳහා අපේක්ෂකයන් නම් කිරීමේදී සියලුම ජනකොටස්වල නියෝජනය ජාතික ජන සංඛ්‍යා අනුපාතයට අනුකූල වන බව හැකිතාක් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු වන අතර, ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් අවශ්‍ය වන බවද සැලකිය යුතු බවද පෙන්වා දෙයි.

 



Recommended Articles