නව රජයේ පළමු ආරාධනය කියුබානු අගමැතිට


අසල්වැසි ඉන්දියාව අමතක කර වත්මන් රජය පළමුවෙන් කියුබාවේ අගමැතිවරයාට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවත්, මෙය මංමුළා වූ පාරක ගමන් කිරීමක් බවත් සමගි ජන බලවේගයේ  මහ මැතිවරණ අපේක්ෂක නලීන් බණ්ඩාර මහතා පැවසීය.

කොළඹ සමගි ජන සන්ධාන කාර්යාලයේ අද (21දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් නලීන් බණ්ඩාර මහතා  මෙලෙස අදහස් දක්වා සිටියේය.

“අපිට ආරංචියි මේ රජය තමන්ගේ පළමු නිල ආරාධනාව විදේශ රටක නායකයෙකුට කරලා තියෙන්නේ.එනම් කියුබාවේ අගමැතිවරයාට.  ඒක ඇත්තටම විහිළු ජනක  කාරණයක්. කියුබාව සහ ශ්‍රී ලංකාව අතර මොකක්ද තියෙන ආර්ථික බැඳීම? මොකක්ද තියෙන සමාජීය බැඳීම? අපිට නම් එහෙම එකක් පේන්නේ නෑ. කියුබාවේ ආර්ථිකය කොහේද තියෙන්නේ ? කියුබාව කියන්නේ කඩා වැටිලා තිබෙන රටක්. මේ අයට කියුබාව වීරයෝ වෙන්න පුළුවන් ෆිදෙල් කස්ත්‍රෝ නිසා. ඒත් අපිට නම් වටිනාකමක් නෑ කියුබාව කියන රටත් එක්ක සබඳතාවන් පැවැත්වූවා කියලා. 

ඉතිහාසයේ එදා මෙදා තුර හැමදාම අපේ අසල්වැසියා, අපේ මිත්‍රයා , අපේ හිතවතා , දුකට සැපට හිටියේ ඉන්දියාව. අපේ සහෝදර රට තමයි හැමදාම ශක්තියක් වුණේ. සහෝදර රට තමයි අනාගතයේදී අපේ රටේ සේවා ආර්ථිකයට දැවැන්තම ඉඩකඩ විවර වන තැන.  සහෝදර රටේ තිබෙන ආර්ථිකය තමයි අපි ජයග්‍රහණය කරන්න ඕනෑ. සහෝදර රටේ ඉන්න කෝටිපතියෝ, බිලියනපතියෝ අපි ලංකාවට ආකර්ෂණය කර ගන්න ඕනෑ.

සංචාරක කර්මාන්තය වෙන්න පුළුවන්, අධ්‍යාපන ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, සංස්කෘතික සබැඳියා වෙන්න පුළුවන්. එහෙනම් ඉන්දියාව නෙවෙයිද අපිට වඩාම වැදගත් රට. අපි කියුබාවටද ආරාධනා කරන්න ඕනෑ ? ඒක නිසා මේක මහා විහිළුවක් කියන එක තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා කියුබාවේ අගමැතිවරයාට ආරාධනා කරලා මේ අය යන්නේ වැරදි පාරක. ප්‍රයෝජනයක් නැති පාරක. මංමුළා වෙන පාරක. ඒ නිසා මංමුළි වෙන පාරක නෙවෙයි යන්න ඕනෑ අපේ අනාගතයට වැදගත් වන නිවැරදි පාරක, නිවැරදි ආර්ථික වැඩපිළිවෙළක යන්න ඕනෑ.” 



Recommended Articles