නව යොවුන්වියේ අයගෙන් සියයට 29ක් පාසල් යන්නේ නෑ


ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවේ 2024 වර්ෂයේ දත්තවලට අනුව, ශ්‍රී ලංකාව තුළ නව යොවුන් වියේ පසුවන්නන් (වයස අවුරුදු 10 - 19) මිලියන 3.5ක සංඛ්‍යාව අතුරින් 71%ක් පාසල් යන අතර, 29%ක් පාසල් නොයන අය වෙති.

එසේම වයස අවුරුදු 13ත් 17ත් අතර සිසු සිසුවියන්ගේ බර අඩු ප්‍රතිශතය 21.4%ක් සහ අධිබර ප්‍රතිශතය 12.1%ක් බවද වාර්තා දත්ත තුළින් පෙන්වා දෙයි. ස්ත්‍රී පුරුෂභාවය සහ වයස අනුව, සිගරට් එකක් හෝ දෙකකින් දුම්පානය කිරීමට උත්සාහ කළ හෝ අත්හදා බැලූ සිසුන්ගේ ප්‍රතිශතය 12.8%ක් බවද වාර්තාව පෙන්වා දෙයි.

වාර්තාවට අනුව වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, සිසු සිසුවියන්ගෙන් 22.4%කට තනිකම දැනී ඇති බවයි. 11.9%කට කනස්සල්ල හේතුවෙන් නිදාගත නොහැකි වී ඇති අතර, 18%ක් මානසික අවපීඩනයෙන් පෙළී ඇත. එසේම 7.5%කට සමීප මිතුරන් සිට නොමැත. මීට අමතරව 62.6%ක් සාමාන්‍ය පාසල් දිනයක පැය 08කට වඩා අඩු නින්දක් වාර්තා කර තිබේ.

2024 වර්ෂය තුළ රජයේ පාසල් 40ක 08 - 12 ශ්‍රේණිවල සිසුන් 3,843ක් සම්බන්ධ කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ. ඒ අනුව මෙහිදී වයස අවුරුදු 13 - 17ත් අතර නව යොවුන්ගේ දරුවන් කෙරෙහි අවධානය යොමු කර ඇත.

 

 

 



Recommended Articles