දේශබන්දුගේ පොලිස්පති ධුරයට එරෙහි පෙත්සම් ලබන වසරේදී සලකා බලයි


දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරයට පත් කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිදු ජයවර්ධන මහතා  ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන වර්ෂයේ මාර්තු 24 සහ 25 වැනි දිනයන්හි විභාගයට ගැනීමට දින නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද ඊට එරෙහිව පෙත්සමකාර පාර්ශවයෙන්ද ඉදිරිපත් කළ මෝෂන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත අද (11) යොමු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සළකා බැලිණි.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිදු ජයවර්ධන මහතා  ඇතුළු පිරිසක් ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පොලිස්පතිවරයා, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ නම ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර තිබුණත් ව්‍යවස්ථාදායක සභාව එම නිර්දේශය අනුව අදාළ පත් කිරීම කර නැතැයිද පසුව ව්‍යවස්ථාදායක සභාවේ බහුතර නිර්දේශයක් නොමැතිව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයට පත් කළ බව පෙත්සමේ සදහන් වේ .

ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයන් වශයෙන් කටයුතු කළ විපක්ෂ නායකවරයා සහ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයට පත් කිරීමට විරෝධය පළ කළ අතර තවත් සාමාජිකයන් දෙදෙනකු ඡන්දය දීමෙන් වැලකී සිටි බවද පෙත්සමේ සඳහන් වේ.

ඔවුන් දෙදෙනා එම නාමයෝජනාවට විරුද්ධ බව සැළකීමෙන් අනතුරුව  කථානායකවරයා සිය ඡන්දය භාවිත කරමින් අදාළ නාම යෝජනාව අනුමත වූ බව ප්‍රකාශ කර ඇතැයි ස`ඳහන් කරන පෙත්සම්කරුවෝ ප්‍රකාශ නොකළ ඡන්ද විරුද්ධ ඡන්ද ලෙස සැලකිය නොහැකි බවත් එබඳු අවස්ථාවක කථානායකවරයාට සිය ඡන්දය භාවිත කිරීමට හැකියාවක් නොමැති බවත්  සදහන් කරති.

එහෙත් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයට පත් කිරීමේ අවස්ථාවේදී කථානායකවරයා අත්තනෝමතික අන්දමින් කටයුතු කර ඇතත් අදාළ පත් කිරීම නිසි පරිදි සිදු වී නොමැති බව සඳහන් කරන පෙත්සම්කරුවෝ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයට පත් කිරීම මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප්‍රකාශ කරන්නැයිද දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයට පත් කිරීම බල රහිත කරන්නැයිද ඉල්ලා සිටිති.

පෙත්සමම කැ`ඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරීන් පුල්ලේ මහතා කරුණු දක්වමින් වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් විරෝධතා ගොනු කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අවසර දුන්නේය.

පෙත්සම ලබන වසරේ මාර්තු 24 වැනිදා යළි කැඳවීමට නියම කළේය.පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ තනුක නන්දසිරි මහතා සමඟ ජනාධිපති නීතිඥවරුන් වන ෂමිල් පෙරේරා, සාලිය පීරිස් යන මහත්වරු පෙනී සිටියහ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරීන් පුල්ලේ මහතා පෙනී සිටියේය.

 



Recommended Articles