දේවගැති ජෙරම්ව ගුවන්තොටේදී අත්අඩංගුවට ගැනීමට හැකියි


විදේශගතව සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැවත මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපළ තුළදී අත්අඩංගුවට ගැනීමට හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

 විදේශ ගමන් තහනමක් තිබෙන පුද්ගලයකු රට තුළට ඇතුළු වීමේදී අත්අඩංගුවට ගත හැකි බවත්, දේවගැති ජෙරම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිවලට අනුව විමර්ශන සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙම විමර්ශනවලදී අපරාධමය වරදක් සිදුවී තිබෙන බවට කරුණු තහවුරුවුවහොත් ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර  ජාත්‍යන්තර පොලීසිය හරහා ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට හැකි බවද පවසා සිටියේය.

ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.

 මීට අමතරව තවත් පාර්ශ්ව කිහිපයක්ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

 මෙම පැමිණිලිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (16දා) අධිකරණයට කරුණු වාර්තා කර දේවගැති ෆාස්ටර් ජෙරම් විදේශගත වීම වැළැක්වීම සඳහා නියෝගයක් ලබාගෙන ඇත. එහෙත් අධිකරණ නියෝගය නිකුත් වීමට පෙර දේවගැති ෆාස්ටර් ජෙරම්  සිංගප්පුව බලා පිටත්ව ගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන්කරයි.



Recommended Articles