දුම්රිය නිල නිවාසවල මාසික ජල බිල්පතට අය කිරීම රු. 5යි


දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන, කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා එම නිවාසවල පදිංචි එක් නිලධාරියකුගෙන් ජලබිල්පත් වෙනුවෙන් මසකට රුපියල් 05ක මුදලක් අයකිරිම නිසා ඉකුත් වසර  තුන තුළ (2021 පෙබරවාරි 06 සිට 2023 දෙසැම්බර් 31 දක්වා) ජලබිල්පත් ලෙස රුපියල් නවකෝටි විසිතුන්ලක්ෂ අනූඅටදහස් පන්සිය තිස්දෙකක (92,398,532 ) මුදලක්  දෙපාර්තමේන්තුව විසින්  දරා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

රත්මලාන  ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ කොතලාවලපුර දුම්රිය නිවාස 546 සඳහා ජලබිල්පත් ලෙස වසරකට රුපියල් මිලියන 30කට අධික මුදලක්  දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දරනු ලබන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

 මෙම නිවාසවල නිසි පරිදි ජල මිටර්  සවිකර වියදම් කළමනාකරණය කළයුතු බැව් විගණනය මගින් නිර්දේශ කොට ඇත. මේ පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ  ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  නිල නිවාස 546න් 509ක් සඳහා  නව ජල මීටර් සවිකර Bulk සැපයුම අවසන් කර ඇති බවය. ජල මීටර් සවි නොකළ බව දක්වන ඉතිරි දුම්රිය නිවාස 07ට  ද ජල මීටර් සවිකොට ඇති බවත් ඉතිරි නිවාස දැනට පදිංචි වී නොමැති නිවාස බවත් ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත.

ජල මීටර් සවිකොට ඇති  බැවින්  නියමිත පරිදි ජලබිල්පත් අයකිරීම මේ වනවිට සිදුකරමින් පවතින බව ජාතික විගණන කාර්යාලය විසින් 2024.12.16 දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

චන්දන සමරවික්‍රම



Recommended Articles