දුම්රිය තුනක තෙවන පන්තියේ ආසන වෙන් කිරීම අත්හිටුවයි


ලබන මස 10වන දින සිට දුම්රිය තුනක තෙවන පන්තියේ ආසන වෙන්කර ගැනීමේ පහසුකම් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා අඩු ආදායම්ලාභී ජනතාවට අසාධාරණයක් සිදුවන බවත් දුම්රිය සේවකයෝ සඳහන් කරති.

ලබන මස 10වන දින සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.55 හා 08.30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රියවල හා පස්වරු 03.45 ට තලෛයිමන්නාරම බලා ධාවනය වන දුම්රියවල තෙවන පන්තියේ වෙන් කළ ආසන පහසුකම් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවද පෙන්වා දෙයි.

දුර ගමන් යන ජනතාවට ආසන වෙන්කර ගැනීමට නොහැකි වුවහොත් ගමනාන්තය දක්වා සිට ගෙන යාමට පවා සිදුවිය හැකි බවත්, තුන්වන පන්තියේ  ආසන වෙන්කර ගනු ලබන්නේ අඩු ආදායම්ලාභී ජනතාව බවද සේවකයෝ පෙන්වා දෙති.

මෙම දුම්රියන් නැවත කොළඹට පැමිණීමට අදාළවත් තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් අහිමි කර තිබෙන බවත්, මේ අනුව මේ දක්වා ආසන වෙන්කිරීමේ පහසුකම් තිබූ තෙවන පන්තියේ මැදිරි සාමාන්‍ය තෙවන පන්තියේ මැදිරි ලෙස ඉදිරියේ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් කරයි.

සාමාන්‍ය හා අඩු ආදායම්ලාභී ජනතාව විසින් වෙන්කරන ලද මෙම ආසන පහසුකම ඉවත් කිරීම තුළින් එම ජනතාව අපහසුතාවයට ලක්වන නිසා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සලකා බැලිය යුතු බවද පෙන්වා දෙයි.



Recommended Articles