දුන්හිද අනතුරින් තුවාල ලැබූ කේ.ඩී.යූ. සරසවි සිසුවෙක් වාට්ටුවෙන් පැන ගිහින්


බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස්රථය ක් වේල්ලක ගැටී පෙරලීයාමෙන් සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවෙකු ඊයේ (2) හොර රහසේ වාට්ටුවෙන් පැන පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

ජාඇල ඇලෙක්සැන්ඩර් මාවතේ පදිංචි කොතලාවල  ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිටි 24 හැවිරිදි සරසවි සිසුවෙකු මෙසේ රෝහලේ වාට්ටුවෙන් පැන හොර රහසේ පලාගොස් ඇති බව පොලිසිය කීය .

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සරසවි සිසුන් 36 ක පමණ  පිරිසක් එහි කතිකාචාර්යවරුන් තිදෙනකු ,හමුදා නිලධාරීන් දෙදෙනකු සමග බදුල්ල ට පැමිණ ඇල්ල ප්‍රදේශයේ සංචාරය කර පසුව පස්සර පැල්ගහතැන්න ඌව පළාත් සභා පුහුණු මධ්‍යස්ථාන යේ  රාත්‍රිය ගතකර පසුදින (1) පස්සර සිට බදුල්ල හරහා මහියංගණ මාර්ගය ඔස්සේ රන්ටැඹේ බලා යමින් සිටියදී දුන්හිඳ අබගහඔය 5 කණුව ප්‍රදේශයේ දී මොවුන් ගමන් ගත් බස්රථය මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි පෙරලීයාමෙන් මෙම අනතුර සිදු විය.

එම බස්රථ අනතුරින් එහි ගමන් ගත් කොතලාවලආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි නිවිතිගල තොලබුගමුව පහල කන්ද ප්‍රදේශයේ පදිංචි ව සිටි එම්.ජී.අයි.උදයංගනි(24) සහ කුරුණෑගල උනකොලගෙදර කරබිවත්ත පදිංචි ව සිටි එම්.එන්.ඊ.ටී.හෙට්ටිමුල්ල (23) යන සිසුවියන් දෙදෙනා මියගිය අතර 40 ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ .

අනතුරින් බස්රථය පැදවූ රියදුරු ගාල්ල දහම්වල ඇල්විටිගල ජනපදයේ පදිංචි ප්‍රසන්න කුමාර (41) නැමති අය තුවාල ලබා දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද පොලිසිය පවසයි .

මීට අමතරව තුවාල ලැබු  සිසුන් හතර දෙනෙකු සහ සිසුවියක තවමත් බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සදහන් කළේය .

අනෙක් තුවාලකරුවන් ගේ තත්ත්වය බරපතළ නොවන බවත් බදුල්ල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ගයාන් කුරේ මහතා පැවසීය .

ඇල්ල ප්‍රසාද් රුක්මාල්

 



Recommended Articles