දීඝ දන්තු 1 විදුලි සැර වැදී මරුට


කහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සහ කලා වැව් රක්ෂිතයේ සැරි සරූ දළ යුගලයකින් හෙබි  දීඝ දන්තු 1 ඇතා විදුලි සැර වැදීමකින් අද ( 28දා) ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයා ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි. 

ගල්කිරියාගම පොලිස් වසමට අයත් ආඩියාගල පලාගල, හිඟුරු වැව  ප්‍රදේශයේ නිවසක් අසල අද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මෙම ඇතා ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කලේය.

මෙම අනවසර විදුලි රැහැන සවිකල පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළේය.

කහල්ල පල්ල කැලේ අභය භූමියේ  සියබලන්ගමුව, කලා වැව සහ බළලූ වැව් රක්ෂිත තුල කාලයක සිට සැරි සරූ මෙම දීඝ දන්තු 1 ඇතා, මීට වසර පහකට පෙරදීද බඳින තුවක්කුවකට හසු වී ඉදිරි වම් පාදයට බරපතල තුවාල සිදුව  ප්‍රතිකාර ලැබූ බව වන ජීවි දෙපාර්තමේන්තුව සදහන් කලේය.  

දැනට කලා වැව් රක්ෂිතයේ ඉතුරුව සිටි එකම මහේෂාක්‍ය ඇතා දීඝ දන්තු 1 බවයි පරිසරවේදීන් පෙන්වා දුන්නේ. රේවත, බරණ දීඝදන්තු 1, දීඝදන්තු 2 මේ හතර දෙනා  කලා වැව් රක්ෂිතය සහ ඒ අවට ප්‍රදේශය නිජ බිම බවට පත් කර ගනිමින් ජීවත් වූ   බවත්. එයින් දීඝ දන්තු 2 හස්තියා වෙනත් ඇතෙකුගෙ පහර දීමකින් මිය ගිය බවට විශ්වාස කරන බව පරිසරවේදීහු මෙහිදී පෙන්වා දුන්හ.  

රේවත, බරණ, දීඝදන්තු 1 අකාලයේ ජීවිතක්ෂයට පත්වූයේ අනවසර විදුලි රැහැන්වල පැටලි  බවත්, කලා වැව, කහල්ල පල්ල කැලේ සැරි සැරූ පිරිපුන් දළ යුගලකින් සමන් විත සද්ධන්ත ඇත්තු  තිදෙනා එකම ආකාරයෙන්  අනවසර විදුලි රැහැන් වල පැටලි ජීවිතක්ෂයට වන තෙක් අදාල අංශ  කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බව පරිසරවේදීහු අප කල විමසීමකදී පැවසූහ.  



Recommended Articles