දිළින්දන්ට සතුටක් දෙමින් නත්තල ගත කරන්න


වෙළෙඳ ආර්ථික ක්‍රමවේදය තුළ ඉදිරිපත් කරන නත්තල පිළිබඳ ආකල්පයට වහල් නොවී, දිළින්දන්ට සතුටක් ලබා දෙමින් නත්තල ගත කරන ලෙස සියලු ක්‍රිස්තු භක්තිකයන්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

උදා වූ නත්තල් දිනය සඳහා පණිවිඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ. එහිදී වැඩිදුරටත් කාදිනල් හිමිපාණන් මෙලෙස අදහස් දක්වා සිටියහ. 

“මේ අවස්ථාවේදී ලැබුවා වූ නත්තල ඔබ සියලු දෙනාටම දේව ආශීර්වාදයෙන් පිරුණු, ඒ වගේම සෑම අතින්ම සතුට දනවන උත්සවයක් බවට පත්වේවා කියලා පළමුව ප්‍රාර්ථනා කරනවා. නත්තල කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව සිදුවූ උපත සමරන මොහොතයි. ශුද්ධ වූ බයිබලයේ ඒ උපත පුදුමාකාර විදියට සිදු වුණා කියලා සඳහන් වෙනවා. දරුවාව ඔතන්නට රෙදි කඩක් තිබුණේ නැති බවත්, දරුවා සතපවන්නට ඇඳක් තිබුණේ නැති බවත් ප්‍රකාශ වෙනවා, පැහැදිලි වෙනවා.

මේ වගේ ඉතාම දිළිඳු පරිසරයක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවන්නේ. නමුත් ඒ දිළිඳු පරිසරය තුළ යම්කිසි තෝරා ගැනීමක් තියෙන බව අපිට පැහැදිලිව පේනවා. ඒ තමයි උන්වහන්සේ ඒ ඉපදුණු පරිසරයේ ස්වාභාව ධර්මය තුළ මවන ලද පරිසරයක්. එය මනුෂ්‍ය දෑතින් හදපු පරිසරයක නෙවෙයි උන් වහන්සේ බිහි වුණේ.

මේ කතාවේ පැහැදිලිවම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ක්‍රිස්තුස් වහන්සේ යම්කිසි තෝරා ගැනීමක් කළා කියන එක, එනම් මේ ලෝකයේ සම්පත්, සැප සියල්ල අතහැරලා දාලා ඒ සියල්ල වැඩක් නෑ කියන තත්ත්වයට සලකලා දෙවියන් වහන්සේගේ පණිවිඩයට අනුව සාමාන්‍ය පවුලක, සාමාන්‍ය පරිසරයක, අසරණ පරිසරයක බිහිවන්නට උන්වහන්සේ තීරණය කළ බව තමයි එතනින් පැහැදිලි වන්නේ.

ශුද්ධ වූ බයිබලය පුරාවටම සටහන් වෙන්නේ දෙවියන් වහන්සේ දිළිඳුන්ගේ දෙවියන් වහන්සේ කියලා. මේ තුළ යම් ආකාරයට පණිවිඩයක් අපිට ලැබෙනවා ක්‍රිස්තු භක්තිකයන් හැටියට අපි දිළිඳුන්ට විශේෂයෙන්ම ආදරය කළ යුතුයි කියන එක. ඔවුන් සමාජයට සාපයක් නෙවෙයි. සමාජයට ආශීර්වාදයක් කියලා හිතන්නට අපි පුරුදු විය යුතුයි කියන එක එතනින් පෙන්නුම් කරනවා.

දෙවියන් වහන්සේ තෝර ගන්නේ අසරණයාව. අපෙන් ඒ ආකාරයෙන් ඉල්ලීමක් කරනවා අපිට ඒ මානසිකත්වය ඇති කරගන්න කියලා අපේ අධ්‍යාත්මිකත්වය තුළ. ඒ නිසා මේ නත්තලේ මංගල්‍යයේ සැබෑ අරුත අපි හරියට තේරුම් ගත්තොත් අපේ පුළුවන්කාරකම, ධනවත්කම, අපි වටේ තිබෙන දේවල් කිසිවක් දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ වටින්නේ නෑ කියන එක තමයි අපිට පෙන්නුම් කරන්නේ.

ඒ නිසා මේවා පස්සේ ගිහින් ජීවිතය කාලකන්නි කර ගන්න එපා කියන එක, මේ ධනයට බලයට තිබෙන කෑදරකම  නිසා මිනිස් ඉතිහාසය පුරාම මිනිසුන් බොහෝ දෙනෙකුගේ ජීවිත අසරණ තත්ත්වට පත්වුණු බව අමතක කරන්න එපා. 
කරුණාකරලා මේ ද්‍රව්‍යමය පොහොසත්කම ධනය, බලය, එහෙම නැතිනම් බලයේ පොහොසත්කම පසුපස හඹා යන්න එපා. ශ්‍රී ලංකාව තුළ ජීවත් වන කතෝලිකයන්, ක්‍රිස්තු භක්තිකයන් හැටියට අපි මේ සමාජයට මේ පණිවිඩය ඉදිරිපත් කළ යුතුයි.

අපි තෝරාගත යුත්තේ නත්තලට බෙලහීන අය සමග නත්තල ගත කරන්න. දිළින්දන් සමග නත්තල ගත කරන්න. අසරණයන්ගේ චින්තනය තේරුම් ගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න කියන එක තමයි නත්තලේ සැබෑ පණිවිඩය. ඒ නිසා මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ වෙළෙඳ ආර්ථික ක්‍රමවේදය තුළ අපිට ඉදිරිපත් කරන නත්තල පිළිබඳ ආකල්පයට වහල් වෙන්නේ නැතිව එයින් යම්කිසි කෙනෙකුට සතුටක් ලබා දෙන්න පුළුවන් නම් එය පාවිච්චි කළාට ප්‍රශ්නයක් නෑ.

තවත් කෙනෙකුගේ ජීවිතයට සතුට ගෙනදීලා ඔබ ලබා ගන්නා සතුට රුපියල්වලින් සතවලින් මනින්න බෑ. ඒ සතුට ලබා ගන්න නත්තලේදී. අනන්‍යයන් කියන්නේ අපිට අභියෝගයක් නෙවෙයි. අනන්‍ය සෑම කෙනෙක්ම අපිට ආශීර්වාදයක්. අපි අනන්‍යන්ට විවෘත වුණොත් එදාට ජේසු බිලිඳුන්ව අපේ පවුලට ගෙන්වා ගන්න පුරුදු වෙනවා.” 



Recommended Articles