දළඳා දැක්මට එන සැදැහැවතුන්ගේ ආහාර ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්


මහනුවර දළදා දැක්ම පැවැත්වෙන කාලයේදී මහනුවරට පැමිණෙන සියලු සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව නියාමනය කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා පවසයි.

ඒ අනුව මහනුවර නගර සීමාවේ ව්‍යාපාරික ස්ථාන, වීදි වෙළදුන් හා දන්සල් ආදී සියලුම ආහාර පාන අලෙවි කිරීමේ හා ප්‍රධානය කිරීම කරන ආයතන මේ යටතේ අධීක්ෂණය කරන බව ඒ මහතා පවසයි.

දළදා දැක්ම සමයේදී මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව සිදු කරන කාර්යභාරයන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් ඒ මහතා ඒ බව අවධාරණය කළේය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ දන්සල් ආහාර අලෙවි කිරීමේ ආයතන ඇතුළු වීදි වැළඳුන් මහනුවර නගරය හා නගර සීමාවේ ආහාර සම්බන්ධ කටයුතු කරන සියලු ආයතන ලියාපදිංචි කිරීමේ කටයුතු මෙවන විට දියත් කොට ඇති බවයි. මහනුවර නගරයේ ක්‍රියාත්මක වන සියලු දන්සල් මහනුවර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ අනුමැතිය ලබාගත යුතු බවද වෛද්‍යවරයා පැවසීය.

ජංගම ආහාර අලෙවි කරන වෙළඳුන්ද ලියාපදිංචි කොට ඔවුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් ලබා දෙන බවත් ඔවුන්ට ව්‍යාපාර සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්ණායක ලබා දෙන බවද පැවසූ වෛද්‍යවරයා ආහාර අලෙවි කිරීම සිදුකරන සියලු ආයතන අදියර තුනක් යටතේ නියාමනය කරන බවත් එහි පළමු අදියර යටතේ සියලු තොග ආහාර ව්‍යාපාරික ස්ථානවල තොග පරීක්ෂා කිරීම සිදුකළ බවත් නගරයේ හෝටල් බෙකරි හා සැකසූ ආහාර අලෙවි කිරීමේ ආයතන පරීක්ෂා කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවද පැවසීය.

ආහාර අලෙවි කිරීමේදී නියමිත නිර්ණායක අනුගමනය නොකරන ව්‍යාපාරික ආයතන හා පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය පහන් ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles