දකුණේ අස්වැන්න දුම්රියෙන් කොළඹට ගේන්න යයි


දුම්රිය මගින් බෙලිඅත්තේ සිට මරදාන දක්වා කෘෂි භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරිමට සැලසුම්කොට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට ඇති අතර ජුනි මස 29 වැනි බෙලිඅත්ත සිට මරදාන දක්වා දුම්රිය මගින් කෘෂි භාණ්ඩ ප්‍රවාහනය කිරිමේ වැඩසටහන ආරම්භ කෙරේ.මෙහිදී ලෝක බැංකු ආධාර යටතේ දුම්රිය මගින් කෘෂි භාණ්ඩ ප්‍රවාහන කිරීමේ ක්‍රමවේද‍යක් සකස් කිරීමට සැලසුම්කොට ඇති අතර, Online app එකක් මගින් සහ දුරකථන hotline භාවිතයෙන් කෘෂි ප්‍රවාහන පහසුකම් සඳහා දුම්රිය වෙන් කර ගැනීමේ අවස්ථාව හිමිවේ.

මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන සාධාරණ මිලකට අලෙවි කරගැනීමට හැකිවීම, පසු අස්වනු හානිය අවම කර ගැනීම ,දුම්රිය ප්‍රවාහන ගාස්තු අවම වීම හා කෘෂි නිෂ්පාදන අතරමැදියන් විසින් සුරාගෙන කෑම අවම කරගැනීමට හැකිවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙකී ව්‍යාපෘතිය පිළිබඳ මූලික සාකච්ඡාව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.මෙම අවස්ථාවට ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්‍ රංජිත් ධර්මසිරි, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් චින්තක හෙට්ටිආරච්චි,ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරී එස් .එස් මුදලිගේ, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

චන්දන සමරවික්‍රම

 



Recommended Articles