තෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 5.5 ක වර්ධනයක්


2024 වසරේ තෙවැනි කාර්තුවේදී (ජූලි 01 සිට සැප්තැම්බර් 30 දක්වා) මෙරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) රුපියල් මිලියන 3,151,941ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනුව මෙය 2023 වසරේ තෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 5.5ක ධනාත්මක වර්ධනයක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාලසීමාවේදීකෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා අංශ මෙරට ආර්ථිකය වෙත ලබාදී ඇති දායකත්වය පිළිවෙලින් සියයට 8.2ක්, සියයට 27.3ක් සහ සියයට 55.5ක් වෙයි. ඒ අනුව මෙය පිළිවෙලින් සියයට 3ක, සියයට10.8ක සහ සියයට 2.6ක ධන වර්ධනයක් වාර්තා කිරිමක් ලෙස සටහන්ව තිබේ.

 මේ අතර භාණ්ඩ හා සේවා මත අය කෙරෙන බදු (සහනාධාර අඩු කළ) 2024 තෙවැනි කාර්තුවේදී සියයට8.9ක් ලෙස සටහන්ව ඇති අතර, මෙය සියයට 13ක වර්ධනයක් ලෙස වාර්තා වී තිබේ.

විශේෂයෙන්ම 2024 තෙවැනි කාර්තුව වන විට පොලී අනුපාතවල සැලකිය යුතු පහත වැටීමක් දක්නට ලැබුණු බවත්, එය විශේෂයෙන්ම පෞද්ගලික අංශයද ඇතුළුව දේශීය ණය සැපයුම සඳහා පහසුවක්වූ බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

2024 තෙවැනි කාර්තුවේදී අපනයන හා ආනයන ප්‍රමාණයන්හි කැපී පෙනෙන වර්ධනයක් නිරීක්ෂණය වී තිබේ. එය බොහෝ ආර්ථික ක්‍රියාකාකරම් සමෘද්ධිමත් කිරීම සඳහා පහසුකම් සලසා තිබේ. “එසේම සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් සහ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ගලා ඒම, රුපියලේ අගය එකවර ඉහළ යාමත් සමග රටේ විදේශ මුදල් ස්ථාවරභාවය ශක්තිමත් කර තිබේ.“ දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව ජලාශවල ජල ධාරිතාව වැඩිවීම සහ ජල විදුලි උත්පාදනය තවදුරටත් වැඩිවීම මෙන්ම බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනයද මෙලෙස කැපී පෙනෙන ධනාත්මක වර්ධන වේගයක් වාර්තා කර ඇතැයිද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 



Recommended Articles