ශ්‍රී ලංකා රජයට හිමි විය යුතු තීරු බදු නොගෙවා රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදු කරමින් මෙරටට වාහන අමතර කොටස් රැගෙන එන මුවාවෙන් ආනයනය කළ රුපියල් කෝටියකට ආසන්න විදෙස් රටවල නිෂ්පාදිත විවිධ වර්ගයේ මත්පැන් බෝතල් 90ක් නුගේගොඩ, විජයරාම ප්‍රදේශයේ පිහිටි වාහන අමතර කොටස් විකිණීමේ ව්‍යාපාරික ස්ථානයක සඟවා තිබියදී සැකකරුවකු සමග (15) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි .
විදෙස් රටවලින් වාහන අමතර කොටස් රැගෙනවිත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් වලාන පොලිස් දූෂණ මර්දන ප්‍රහාරක බලකා ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද රහසිගත තොරතුරක් මත හදිසි වැටලීමක් සිදුකර මෙම මත්පැන් තොගය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුට අයත් කොල්ලූපිටිය හා කොට්ටාව ප්‍රදේශයේ පිහිටා ඇති රාත්‍රී සමාජ ශාලා දෙකක විකිණීම සඳහා මෙම විස්කි වර්ගයේ විදෙස් මත්පැන් පිටරටින් වාහන අමතර කොටස් රැගෙන එන ඇසුරුම් පෙට්ටිවල සූක්ෂම අයුරින් නොබිදෙන ආකාරයෙන් අසුරා මෙරටට රැගෙන විත් ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.
වැටලීම සිදු කරන අවස්ථාවේදී ආයතනයේ හිමිකරු එම ස්ථානයේ නොසිටි බැවින් ආයතනයේ කළමනාකරු වශයෙන් සේවය කළ පුද්ගලයා මත්පැන් බෝතල් තොගය සමග අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් විදෙස් මත්පැන් බෝතල් තොගය සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමම සඳහා මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත බාරදුන් බවත් වලාන පොලිස් දූෂණ මර්දන ප්‍රහාරක බලකා ඒකකය වැඩිදුරටත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ සෘජු අධීක්ෂණය මත එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක විමල් ඇතුළු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.