තාක්ෂණ උද්‍යාන දෙකකින් රජයට රු. කෝටි 65ක අලාභයක්


2022 වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ කරනු ලැබූ ගාල්ල සහ කුරුණෑගල තාක්ෂණික උද්‍යාන දෙකක ඉදිකිරීම් කටයුතු 2023 වර්ෂයේ මැයි මාසයේ සිට නවතා දැමීම හේතුවෙන් කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු ප්‍රමාද ගෙවීම් නිසා රුපියල් හැටපන්කෝටි තිස් එක්ෂ ලක්ෂ පනස් හත් දහස් එකසිය අසූ දෙකක (653,157,182.00) ක පාඩුවක් රජයට සිදුවී ඇති බවට පෙරේදා (21 දා) නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන් වෙයි.

කොන්ත්‍රාත් ගිවිසුම්වලට අනුව කොන්ත්‍රාත්තුව ප්‍රමාද කිරීම මත ගාල්ල, කපුහේම්පළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත තාක්ෂණ උද්‍යානය සඳහා කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු මුදල් රුපියල්  විසි තුන් කෝටි හැට තුන් ලක්ෂ පනස් පස් දහස(236,355,010.00) කි.

කුරුණෑගල උහුමීය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත උද්‍යානයෙහි කොන්ත්‍රාත්තුව ප්‍රමාද වීම මත කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු මුදල රුපියල් හතළිස් එක් කෝටි හැට අට ලක්ෂ දෙදහස් එකසිය හැත්තෑ දෙකක්(416,802,172.00)ක් බවත් විගණනය මගින් අනාවරණය කර ඇත.

 මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ටෙක්නෝ පාර්ක් ඩිවලොප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් සමාගමක් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් 2022 ජනවාරි මාසයේ සිට ස්ථාපිත කොට තිබේ.

 එහෙත් මෙම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වරින් වර ඉල්ලා අස්වීම හේතුවෙන් සමාගම ක්‍රියාකාරී මට්ටමේ නොතිබූ බව විගණනය මගින් අනාවරණය කර ඇත. මෙම සමාගම විසින් කොන්ත්‍රාත්කරුට ප්‍රමාදගෙවීම් මුදල ගෙවිය යුතුව පැවතිණ.ව්‍යාපෘති සමාගම විසින්ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් ප්‍රමාද කිරීම් සඳහා පොලී මුදල් ඉල්ලා ඇත.

අරමුදල් නොමැති වීම සහ මෙකී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීම නිසා ඉදිකිරීම් කටයුතු 2023 මැයි මාසයේ සිට නතර කර ඇති බව විගණනය සඳහන් කරයි.

චන්දන සමරවික්‍රම



Recommended Articles