ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ජනපති කියන්නේ බොරු


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිලිබදව සිය ආණ්ඩුවේ අළුත් වැඩක් ලෙසින් ඉදිරිපත් කරන ව්‍යාපෘතිය මින් වසර තුනකට පෙර තමන් බලශක්ති අමාත්‍යධූරය දරන සමයේ සම්පූර්ණ කල ව්‍යාපෘතියක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මේ සම්බන්ධ ගිවිසුම 2022 වසරේ අත්සන් කල බවත් එවකට එයට දැඩිව බාධා කලේ ජාතික ජන බලවේගය බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටීයි.  

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ බව සදහන් පකර සිටියේ අද දින (20) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 

"ජනපතිවරණ සමයේ දී ජනාධිපතිතුමා කිව්වේ ඉතාම කෙටි කාලයකින් මොකක්ද යෙදුම? ඉතාම කෙටි කාලයකින් විදුලි බිල 1/3කින් අඩු කරනවා කියලා.  එතුමා ඒක කියලා නිකන් හිටියේ නෑ.  රුපියල් නවදාහක විදුලි බිල හය දහස දක්වා අඩු වෙනවා කියමින් උදාහරණත් සමග අපට පැහැදිලි කර දුන්නා. නමුත් ආණ්ඩුව පත් වී මාස හතරක් වුණත් ඉතාම කෙටිකාලය උදා වුණේ නෑ.  විදුලි බිල අඩු කළ යුතුයි කියන දැවැන්ත මහජන පීඩනය නිසාම මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල අඩු කිරීමට මහජන අදහස් ගත්තා. එහිදී ජනතාව නම් ඉල්ලුවා පොරොන්දු වූ පරිදි 1/3 මිල අඩු කරන්න කියලා. නමුත් විදුලි බල මණ්ඩලය කිව්වේ බිල අඩු කරන්න පුළුවන් 3%කින් විතරයි කියලා.  ඒ අතරේ බලශක්ති ඇමතිතුමා කිව්වා බිල අඩු කරන්න නොවේ 37%කින් වැඩි කරන්නයි වෙලා තිබෙන්නේ කියලා.

මේ සියල්ලටම ඇහුම්කන් දීලා මහජන උපයෝගිතා කොමිසම 20%කින් විදුලි ගාස්තු අඩු කරන්න නිර්දේශ කලා.  මීට කලින් නම් මහජන උපයෝගිතා කොමිසම ආණ්ඩුවේ මතයට කීකරු නොවුණොත් සභාපති අස් කරලා හරි මට්ටු කරනවා මිස කොමිසම කියන දේ කරන්නේ නෑ.  නමුත් ඔය අතරේ හෝමාගම, මොරටුව, කැළණිය, අගුණුකොලපැලැස්ස සහ බේරුවල වගේ මාලිමාව ඉහලින්ම ජයග්‍රහණය කරපු මැතිවරණ කොට්ඨාශ වල පැවැති සමූපකාර සමිති නිලවරණයන්ගෙන් මාලිමාවට අන්ත පරාජයක් අත් වුණා. 

පොරොන්දු සිහිපත් කිරීමෙන් රත් නොවුණු අනුර කුමරුගේ පඬුපුල් අසුන සමූපකාර ඡන්ද ප්‍රතිඵලය දැකලා රත් වෙන්න පටන් ගත්තා.  අනුර කුමරුගේ පඬුපුල් අසුන විතරක් නොවේ ආණ්ඩුවේ නායකයන්ගේ හිස් මොළ මේ දැවැන්ත පරාජය හමුවේ රත් වෙන්න පටන් ගත්තා. 

අන්න ඒකයි අවුරුදු තුනකට අඩු කරන්න බෑ කියූ විදුලි බිල හදිසියේම අඩු කරන්න ආණ්ඩුව තීරණය කලේ.  ඒ නිසා විදුලි බිල 20%කින් අඩු කිරීමේ සමස්ථ ගෞරවය සමූපකාර ඡන්ද වල දී මාලිමාවට අන්ත පරාජයක් අත් කරලා දුන්නු ඡන්දදායකයින්ට හිමි වෙනවා.  මේ රැල්ල ඉදිරි සමූපකාර ඡන්ද වලටත් අරගෙන ගියොත් කඩවුණු පොරොන්දු සියල්ලම මේ ආණ්ඩුවෙන් ඉටු කර ගන්න පුළුවන් වේවි කියලා ජනතාවට සිහිපත් කරනවා.

ඉතාම කෙටි කාලයක් කියන්නේ මාස හතරකට බවත් 1/3ක් ප්‍රතිශතයක් ලෙස දක්වන විට 20%ක් බවත් අපට කියා දුන්ජ නාධිපතිතුමනි, ඔබට බොහොම පිං.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන ටැංකි 99 ලංකාවේ තෙල් ගබඩා කිරීමේ අවශ්‍යතාවයට වඩා වැඩි බවත් ඒ නිසා ටැංකි 24ක් පමණක් තෙල් සංස්ථාව තබා ගෙන දැනට එල්අයිඕසි සමාගම භාවිතා කරන ටැංකි 14 ඒ අයටම භාවිතා කරන්න දීලා ඉතිරි ටැංකි 61 ඉන්දියානු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක් විදියට සංවර්ධනය කරනවා කියලා ජනාධිපතිතුමා ඊයේ කටුකුරුන්දේ දී කිව්වා.  ඕක ජනාධිපතිතුමාට අමුතුවෙන් කරන්න දෙයක් නෑ.

මීට වසර 3කට කලින් අපි ඕක කරලා ඉවරයි. මම 2020  බලශක්ති ඇමති ධූරය භාර ගන්නා විට තෙල් ටැංකි 99ම 2002 සිට ඉන්දියාවට දීලා තිබුණේ.  එයින් ටැංකි 14ක් පමණක් එල්අයිඕසි සමාගම තෙල් ගබඩා කරන්න භාවිතා කළා.  ටැංකි දෙකක් ප්‍රීමා සමාගමට ජලය ගබඩා කරන්න දීලා තිබුණා. ඉතිරි ටැංකි 83ම 1945 සිටම ඒ කියන්නේ අවුරුදු 75ක් ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වෙමින් තිබුණේ.  ඉන්දියාවත් එක්ක අවුරුද්දක් පුරා කේවල් කරලා එල්අයිඕසි සමාගම භාවිතා කරපු ටැංකි 14 ඒ අයට තව දුරටත් භාවිතා කරන්න දීලා ඉතිරි ටැංකි සියල්ලම අපේ යටතට ගත්තා.  මේ ගිවිසුම අත්සන් කලේ 2022 ජනවාරි 6 දා. 

තෙල් සංස්ථාවේ ගබඩා පහසුකම් අවශ්‍යතාවය සපුරන්න තෙල් ටැංකි 24ක් සංස්ථාවට පැවරුවා.  ඒවායින් ටැංකි පහක අළුත්වැඩියාවත් ඒ කාලයේම ඇරඹුවා. තව මාසයක් යන කොට ඒ අළුත්වැඩියා ඉවර වෙනවා.  වත්මන් ඇමතිතුමා රිංගලා බැලුවේ එහෙම අළුත්වැඩියා කරමින් තිබෙන ටැංකියක් තමයි.

ඒ වගේම 2022 ජනවාරි මාසයේම අපි නැව් තෙල් වෙළඳාම සහ ජාත්‍යන්තර වෙළඳපොලට ගබඩා පහසුකම් සැපයීමේ අරමුණින් ඉතිරි තෙල් ටැංකි 61 ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ඛනිජතෙල් සංස්ථාව සහ එල්අයිඕසි සමාගම අතර ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් ආරම්භ කලා.  මීට අවුරුදු තුනකට කලින් අපි සම්පූර්ණ කරපු වැඩක් තමයි දැන් ජනාධිපතිතුමා අළුත් වැඩක් විධියට රටට පෙන්වන්න හදන්නේ. 

ජනාධිපතිතුමාට මාව විශ්වාස නැතිනම් බලශක්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ “තෙල් ටැංකි යළි රටට” කියලා පොතක් තිබෙනවා.  ඒ වගේම 2022 අත්සන් කළ ගිවිසුම තිබෙනවා.  ඒවා බලලා මේ ව්‍යාපෘතියේ ඇත්ත ඉතිහාසය ඉගෙන ගන්න කියලා මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා.  2022 දී “තෙල් ටැංකි යළි රටට” කියන මේ පොත මම ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ දී දුන්නා.  නිකමට වගේ මේ පොත කියෙව්වා නම් ඔහොම බොරු විදින්න පෙළෙඹෙන්නේ නෑ.

බොරුවෙන් බලයට ආවා වගේම බොරුවෙන් බලය පවත්වා ගන්නයි මාලිමා ආණ්ඩුව උත්සාහ කරන්නේ.  කාංචන විජේසේකර ඇමතිතුමා ගෙනාපු තෙල් පිරිපහදුව තමන්ගේ කර ගත්තා වගේ ජානක වක්කුඹුර ඇමතිතුමා ලාභ කරපු හිඟුරාන සීනි කම්හල තමන්ගේ කර ගත්තා වගේ අපි දැවැන්ත සටනක් කරලා ලබා ගත්ත මේ වන විටත් සංවර්ධනය කරමින් පවතින තෙල් ටැංකි සංකීර්ණය එතුමන්ලාගේ යෝජනවක් විදියට සංවර්ධනය කිරිම ඉදිරියේදි කරන්න බලාපෙරොත්තු වෙනවා කියලා ජනධිපතිතුමා ජනතාව නොමග යවන්න උත්සහ කලේ. ඒ නිසා අනුන්ගේ දරුවන්ට හොර උප්පැන්න හදන්නේ නැතිව තමන්ගේ දරුවෙකු බිහි කර ගන්න කියලා මාලිමා ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා.

2002 දී ඉන්දියාවට දීලා වසර 75ක් තිස්සේ දිරාපත් වෙමින් තිබුණු තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ රටට අරගෙන සංවර්ධනය කරන්න කටයුතු කරන කොට මට ලොකුම බාධාව එල්ල කලේ මාලිමාව.  2002 දී ඉන්දියාවට දුන්නු බව හොඳටම දනිමින් ඔන්න අපේ ටැංකි ඉන්දියාවට දෙනවෝ. ජාතික ආරක්ෂාව අනතුරේ කියමින් රට පුරා උද්ඝෝෂණ කලා.  මේ බොරුව බිඳලා මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනි යන්න මට විවාද දෙකක් කරන්න සිදු වුණා. 

තෙල් සංස්ථා වෘත්තිය සමිති නායකයින් සමග හිරු නාලිකාවේ කළ විවාදයට මාලිමාව වෙනුවෙන් සහභාගි වුණේ  ජපන් ගිහින් අතුරුදහන් වුණු හිටපු කතානායක අසෝක රන්වල මැතිතුමා.  ඒ වගේම මමත් ඩී වී චානක ඇමතිතුමාත් දේශපාලකයින් සමග දෙරණ නාලිකාවේ කළ විවාදයේ දී මාලිමාව නියෝජනය කලේ වත්මන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා.  මේ විවාද වලින් ඇත්ත රටට පෙන්වලා දීලා තමයි අපට මාලිමාව නිහඬ කර ගන්න පුළුවන් වුණේ.  වසර තුනකට පස්සේ තමන් වැරදියි අපි හරියි කියලා මාලිමාව පිලිගත්තු එක ගැන අපි සතුටු වෙනවා."



Recommended Articles