තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට


ශ්‍රී ලංකාව විසින් මිලදී ගෙන ඇති ඇමෙරිකාවේ නිෂ්පාදිත "ෆයිසර්" තවත් එන්නත් මාත්‍රා තොගයක්   කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම රැගෙන පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ  කළේය .

මෙම එන්නත් අද දින අලුයම 02.30 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි .

ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .

ඉන්පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබුණි .

මෙම එන්නත් තොගය පිළිබඳව වැඩිදුර විස්තර සොයා ගැනීම සදහා විෂය භාර අමාත්‍ය චන්න ජයසුමන , ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන , එහි සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක  යන මහත්වරුන් ඇමතුව ද , ඔවුන් ඒ සදහා ප්‍රතිචාර නොදැක්වීය .

 

 



Recommended Articles