තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට


ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව  විදේශ රටවල් 04 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 97 දෙනෙකු ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත  අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 

අද දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා වල සේවය කිරීම සදහා අප්‍රිකාවේ සුඩානය වෙත ගොස් සිටි ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් 79 දෙනෙකු අද දින අලුයම 2.00 ට ඉතියෝපියානු ගුවන් සේවයේ ඊ.ටී.- 8703 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම හමුදා නිලධාරීන් අතර ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත් නිලධාරීන් 30 දෙනෙකු ද , ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිලධාරීන් 48 දෙනෙකු ද , එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන එක් ශ්‍රී ලාංකික නිලධාරියෙකු ද සිටි අතර ඔවුන් එම හමුදා වලට අයත් වෛද්‍ය ඒකක මගින් පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර , එම හමුදා විසින්ම නීරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ .

මීට අමතරව අද දින අලුයම 4.50 ට ජපානයේ නරීටා සිට පැමිණි එරට රැකියා සදහා ගොස් සිටි එක් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එසේම අද දින උදෑසන 9.10 ට පාකිස්තානයේ ලාහෝර් නුවර සිට පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 184 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .

මොවුන් සියලු දෙනා කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ කාර්යය මණ්ඩලයක් විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව , ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑමට නියමිතය.

 



Recommended Articles