ඩෙංගු මර්දනය සඳහා කියුබානු රජයේ සහාය ලබාගැනීමට යයි


වරින් වර හිස ඔසවනු ලබන ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට නව රජය සැළසුම් කරන වැඩසටහන තුල ප්‍රතිකාර සේවා ශක්තිමත් කර ගැනීමට, මදුරු කීට බෝවීම මර්දනය කිරීමට සහ විධිමත් ඖෂධ භාවිතාවන් ආදී කරුණු සම්බන්ධව කියුබානු රජයේ විශේෂඥ දැනුම, තාක්ෂණික මෙවලම් සහ අත්දැකීම් සෘජුවම යොදා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තීරණය කර ඇත.

මෙම කරුණූ අනාවරණය වූයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා  (Andres Marcelo Gonzales Gorrido) අතර පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ හමුවක දීය.

මෙම හමුවේදී ඩෙංගු උවදුර මර්දනය කිරීමේ දී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ මෙරට කියුබානු තානපතිවරයා, ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම, තාක්ෂණික දැනුම,  හුවමාරු කර ගැනීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව පැවසීය. මදුරු කීට මර්දනය සදහා කියුබාව භාවිතා කරනු ලබන නිෂ්පාදන කිහිපයක් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා  දැනුවත් කිරීමට ද තානාපතිවරයා මෙහිදී කටයුතු කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට ඩෙංගු මදුරු මර්දනය හා ව්‍යාප්තිය පාලනය කිරිමටත්, ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිරීමටත් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙන බව අවධාරණය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එම කටයුතු තවත් ශක්තිමත් කිරීමට දෙරට අතර අන්තර් පාර්ශවීය සම්බන්ධීකරණය ඉතා වැදගත් වන බව පෙන්වා දෙන ලදි. මෙරට ඩෙංගු මදුරු මර්දන  කටයුතු සදහා කියුබානු විශේෂඥ සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට කියුබානු රජය කැමැත්ත පළ කිරීම පිළිබදව සිය කෘතඥතාවයද ඇමතිවරයා මෙහිදී පළ කරන ලදි.

ඩෙංගු මර්දනය සදහා ශ්‍රී ලංකාව ගෙනයනු ලබන විශේෂ වැඩපිළිවෙලට කියුබානු රජයේ අඛණ්ඩ සහාය ලබාගැනීම සහ දෙරට අතර දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්ත්වය ශක්තිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්විනි.

මෙම සාකච්ඡාමය අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශණී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර,  කියුබානු තානාපති කාර්යාලය නියෝජනය කරමින් එහි පළමු ලේකම් Maribel Duarte Gonzalez යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 



Recommended Articles