ඩෙංගු මර්දන වැඩසටහනට ඩ්‍රෝන තාක්ෂණය


ඩෙංගු මදුරු මර්දන වැඩසටහන යනු සාම්ප්‍රදායික ව්‍යාපෘතියකට එහා ගිය ක්‍රියාන්විතයක් බැවින් එයට ජනතා සහභාගීත්වය  අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

කොළඹ මහ නගර සීමාව ඇතුළුව ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකලපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37 ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය එක් ව 2025 වර්ෂයේ පවත්වනු ලබන පළමු ඩෙංගු මදුරු මර්දන වැඩසටහන මෙය වන අතර,  එම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමාරම්භක උත්සවය බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයෙන් අද (27)  පෙරවරුවේ ආරම්භ කෙරිණි.

අද (27) සිට 29 දින දක්වා තෙදිනක් තුළ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් අවදානම් කොට්ඨාසවල පවතින නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන සහ වෙනත් පරිශ්‍රයන් සෞඛ්‍ය වෘත්තිකයින්, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ඩෙංගු මර්දන කටයුතු සිදු කරන අතර ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගැනීමට නියමිත ය.

ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම් වලට ළගාවිය නොහැකි ස්ථාන වල මදුරු මර්දන කටයුතු සඳහා ඩ්‍රෝන යානා තාක්ෂණය ද යොදා ගැනීමට කටයුතු කරන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒ සඳහා දායකත්වය දක්වනු ලබයි.

වර්තමානය වන විට ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා නොවුනත් ඉදිරි මෝසම් වර්ෂා තත්ත්වයන් සමඟ ඇතිවිය හැකි ඩෙංගු මදුරු ව්‍යාප්තිය අවම මට්ටමකින් පාලනය කර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රමඛ අරමුණක් වන අතර ජනතා සහභාගීත්වය, සහයෝගය මේ  සදහා ලබා ගැනීම මෙන්ම ජනතාව මේ පිළිබදව දැනුවත් කිරීම ද මෙහි අරමුණක් විය.

මෙහි සාර්ථකත්වය සඳහා ජනතා සහභාගීත්වය අත්‍යවශ්‍යම බව පෙන්වා දුන් අතර ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා ජනතාව පෙළඹවීම අත්‍යවශ්‍ය බවත්, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීම ද ඒ හා සමානව ම ඉතාම වැදගත් බව ද පැවසී ය.

මෙරට තුළ ඩෙංගු මදුරුවන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 37 ක මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාවට නංවන බවත්, සෑම දිනකම සවස එම දිනයට අදාළව සිදුකල මෙහෙවර පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද කටයුතු කරන අතර, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කොට්ඨාශ වල අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිව සූම් තාක්ෂණයෙන් විශේෂ සාකච්ඡාවන් ද පවත්වා ගතයුතු ඉදිරි පියවර පිළිබදව කටයුතු කරන බවද අවධාරණය කර සිටියේ ය. 

ඩෙංගු මදුරු පරීක්ෂාවන් වල දී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හමු වුවහොත් නඩු පැවරීමට බලය ලබා දී තිබෙන එකම පළාත බස්නාහිර පළාත බව සිහිපත් කළ ලේකම්වරයා  සමාජ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ චර්යාත්මක වෙනස්කම් සිදුකරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, ඩෙංගු මදුරු මර්දනය සඳහා විශාල දායකත්වයක් දක්වන ඩෙංගු මදුරු සහායකයින් ස්ථීර සේවාවට බදවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව ද,  අනාවරණය කල අතර කඩිනමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා ඊට අඳාළ බඳවා ගැනීම් සිදුකරන බව ද පැවසී ය.

මෙම වැඩසටහනේ ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම් ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන් ද කටයුතු කරන අතර, ඔවුන් සිදු කරන අනගිභවනීය මෙහෙය විශේෂ ඇගයීමකට ලක් කළ යුතු බවද ලේකම්වරයා මෙහි දී පැවසී ය.

මෙහිදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ද අදහස් දක්වමින් කියා සිටියේ බස්නාහිර පළාත තුළ ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා උපරිම දායකත්වය ඉදිරියටත් ලබාදෙන බවයි.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මිකා ජයලත්, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ්, ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, මදුරු මර්දන සහායක කණ්ඩායම්, ස්වේච්ඡා කණ්ඩායම්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, ත්‍රිවිධ හමුදාව,පොලීසිය, මහජනතාව ඇතුලු පිරිසක් සහභාගී වූහ.

 



Recommended Articles