ටී. 56 ගිනි අවියක් හා උණ්ඩ සමග අතුරුදන් වූ කොස්තාපල් ඩුබායි ගිහින් - පාතාලය සමගත් සම්බන්ධයි


ටි 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30 ක් රැගෙන අතුරුදන් වූ  ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්ත ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඊයේ (8) රාත්‍රියේම ඩුබායි රාජ්‍යයට පලා ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම නිලධාරියා ඇතුළු පිරිසක් එදින රාත්‍රී 6 සිට  කහවිට ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරී යොදන ලෙසට නියෝග යොදා තිබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු එලෙස එදින රාත්‍රී රාජකාරී සඳහා පිටව යාමට  විනාඩි 18 කට පෙර අංක 28045840 දරන ටි 56 ගිනි අවිය සහ එම උණ්ඩ 30 ක් පොලිස් ස්ථානයේ අවි ගබඩාවෙන් ලබාගෙන පිටව ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

එනමුත් එම කොස්තාපල්වරයා මාර්ග බාධක රාජකාරී සඳහා වාර්තාකර නැතැයි උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම කොස්තාපල්වරයා ස්ථානයෙන් පිටව යාමේදී සටහන් යෙදීමක් හෝ කාර්යභාර නිලධාරියා දැනුවත් කිරීමක් සිදු කර නොමැති බවත්  ඔහුගේ පෞද්ගලික දුරකථනයද මේ වන විසන්ධි කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

මේ වන විට සිදුකළ විමර්ශනවලදී  කොස්තාපල්වරයා ගිනි අවි රැගෙන අත්තිඩිය තනිකඩ බට නිවාසය කරා ගොස්  එහිදී නිල ඇඳුම් ගලවා දමා සිවිල් ඇදුමින් සැරසි රාත්‍රී 9.15 ට පමණ  කුලී සේවා සමාගමකට අයත්  වැගන් ආර් රථයකින් බෙල්ලන්තර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගොස් රාත්‍රී 10.15 ට ඩුබායි රාජ්‍යය කරා ගුවන් මගින් පිටව ගොස් ඇතැයි පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම කොස්තාපල්වරයා පාතාල කණ්ඩායම් සමඟ සබඳතා පවත්වා ඇති  තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි

පලා ගිය සැකකාර කොස්තාපල්වරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය හරහා අවශ්‍ය කරන කටයුතු සිදු කරයින් පවතින අතර ඔහු විසින් පොලිස් ස්ථානයෙන් නීති විරෝධීව බැහැර කරන ලද ටි 56 ගිනි අවිය සහ පතරොම් 30  නැවත පොලිස් භාරයට ගැනීම සඳහා මේ වන විට විමර්ශන කණ්ඩායම හතරක් යොදවා ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය


පලා ගිය කොස්තාපල්වරයා අනුරාධපුර පේමඩුවේ හැලඹ ගස් වැව පදිංචි 25 හැවිරිදි  තැනැත්තෙකි.



Recommended Articles