ජොනීට අයත් යැයි කියන මෝටර් රථයක් මාස 8කට පෙර ගරාජයකට ගෙනත් දාලා


හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව පැවසෙන ෆොර්ඩ් වර්ගයේ මෝටර් රථයක් කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක සගවා තිබියදී සොයාගත් බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අලුත් වැඩියාවක් සදහා බව පවසමින් වාද්දූව ප්‍රදේශයේ පදිංචි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ රියදුරෙකු විසින් 2024.02.28  දා මෙම වාහනය ගරාජයට ගෙනැවිත් දමා ගොස් ඇති අතර එම අවස්ථාවේදී මෝටර් රථයේ අංක තහඩු හෝ තිබී නොමැති බවද පොලිසිය කියයි.

වාහනයේ අංකය KM 5121 ලෙස සටහන් කර තිබූ කඩදාසි කොලයක් වාහනය රැගෙන ආ රියදුරු  තමාට පෙන්වූ බවත් ඒ අනුව වාහනේ අංකය ලෙස ඉහත අංකය තමා සටහන් කර ගත් බවත් ගරාජයේ හිමිකරු පොලිසියට පවසා තිබේ.

එහෙත් යලි වාහනය රැගෙන යාමට නොපැමිණීම නිසා මාස 08 තිස්සේ මෙසේ ගරජයේ ගාල් කර තිබූ බව ද පැවසේ

මේ සම්බන්ධයෙන් හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් (02) දා එම ගරාජයට ගොස් පරීක්ෂා කිරීමේදී අංක තහඩු නොමැති මෙම වාහනය භාරයට ගත් බව පැවසේ .

මෙම වාහනයේ කිසිදු අනන්‍යතා සහතිකයක් තිබී නොමැති අතර ඒ අනුව මෙය ලියාපදිංචි නොකොට එකලස් කරන ලද වාහනයක් බවට පොලීසිය සැක කරයි.

ඒ අනුව වාහනයේ චැසි අංකය හා එන්ජින් අංකය අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  වාර්තාවක් කැඳවා මෝටර් රථය අනන්‍යතාවය තහවුරු කර ගැනීමට විමර්ශනයක් පවත්වන අතර රේගුවෙන් හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහාද  වාර්තා  කැඳවීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස්.ජයමහා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි වෙදමුල්ල මහතාගේ මෙහෙයවීමෙන්  වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

 



Recommended Articles