රැකියාවන් සඳහා විදේශ ගත වන මෙරට පුද්ගලයන් සැමදා විදේශ රටවල ජීවත් නොවන බවත් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට , ආදායම් මට්ටම ඉහල දමා ගැනීමට විදේශගත වූවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ඔවුන් විදේශගත වී මහා පරිමාණයෙන් මෙරටට විදේශ විනිමය ගෙන එන බව ද අමාත්‍ය පීරිස් මහතා මහනුවර දී පැවසීය.
අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (06දා) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයන්ට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ පැවසීය .
ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට වත්මන් රජය මගින් ලබාදී ඇති තනතුර සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “තනතුරු වලට පුද්ගලයන් පත් කිරීමේ විධායක බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි . එහිදී වැදගත් වන්නේ ඔවුන් ලබා දෙන අවසන් නිර්දේශ කුමක්ද යන්නයි . එක රටක් එක නීතියක් කියන්නේ රටේ හැමෝටම බලපැවැත්වෙන එක නීතියක් තිබිය යුතුයි කියන එකයි.
එහිදී උඩරට විවාහ නීතිය වැනි නීති නොවෙයි වෙනස් විය යුත්තේ . වයස අවුරුදු 12 ක දරුවකු විවාහ කර දෙනවා වැනි නීති වෙනස් විය යුත්තේ. විවාහයකට ඇතුළත් වීමේ අවම වයස වැනි දේ හැමෝටම පොදු විය යුතුයි. හැමෝටම පොදු අධිකරණ පද්ධතියක් තිබිය යුතුයි .
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සඳහා හැමෝගෙන්ම අදහස් ලබා ගන්නවා. ඉන් අනතුරුව ජනවාරි මාසයේ එහි මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ආණ්ඩු හදනවට වඩා එය රැක ගැනීමයි අමාරුම කටයුත්ත. සන්ධාන ආණ්ඩුවක් තුළ විවිධ මත තියෙන්න පුළුවන්. එක් එක් දේශපාලන පක්ෂ වලට ඔවුන්ට ආවේණික අනන්‍යතාවයන් තිබෙනවා. නමුත් අවසානයේ දී රජයක් හැටියට සාමූහිකව ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. තීරණවලදී සියයට සියයක් හැමදෙනාම තෘප්තිමත් නොවෙන්නත් පුළුවන්. නමුත් හැමදේම විවෘතව සාකච්ඡා කර සාමූහික වගකීමෙන් වැඩ කළ යුතුයි” යැයි ප්‍රකාශ කළේය.
ෂේන් සෙනෙවිරත්න