ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්


එයින්  සියයට 60 ක්  වංචා  කර ඇත්තේ සේවකයන් 
අමිලියන 44.08 ක පාඩු වසර පහටත් වඩා පරණයි  
ටෙලර් යන්ත්‍රවලට මුදල් පටවද්දී කළ සොරකමක පාඩුව රුපියල් 3,730,000 ක් 

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සිදුව ඇති   වංචනික ක්‍රියා  107 ක්  හේතුවෙන් එම බැංකුවට රුපියල් 81,715,811ක අලාභයක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ සහ   දිවයින පුරා විසිරී ඇති බැංකු ශාඛා රැසක සිදුව ඇති  වංචනික ක්‍රියා මගින් සිදුව ඇති  අලාභයන්වලින් මෙම වසරේ මැයි 31 දින වනවිට මෙම අලාභ ශේෂය පවතින  බව විගණනයෙන් පෙන්වා දෙයි.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් වංචනික ලෙස මුදල් ලබා ගැනීම, උකස් භාණ්ඩ වංචනිකව ලබා ගැනීම,ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රවලට  මුදල් පැටවීමේදී මුදල් සොරකම් කිරීම, ඉතුරුම් තැන්පතු ගිනුම්වලින් මුදල් ලබාගැනීම ,හිමිකම් වවුචර් භාවිතයෙන්  හා හරපත්  භාවිතයෙන් මුදල් වංචා කිරීම ස්ථාවර තැන්පතුවලින් මුදල් ලබා ගැනීම , ඊ වාණිජ ගනුදෙනු ඔස්සේ මුදල් වංචා කිරීම ආදී අවස්ථාවන් මගින් බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් හා වෙනත් බාහිර  පාර්ශවයන්  විසින් මෙම මුදල් වංචාවන් කරඇති බව විගණන වාර්තාව මගින්  අනාවරණය කර තිබේ.

ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් යොදාගෙන රුපියල් 8,096,767 ක වංචා  සිදුකර ඇති අතර එයින් බහුවිධ ඊ කොමර්ස් ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර හරහා රුපියල් 2,799 ,481 ක මුදලක් වංචාකර ඇති බව විගණන වාර්තාව මගින් අනාවරණය වේ.

මෙම වංචාවන්ට අදාළරුපියල් 41,489,139 ක මුදල් අයකර ගැනීම  සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති බවත් ස්වයංක්‍රිය ටෙලර් මගින් සිදුකර ඇති  වංචාවලින් රුපියල් 929 ,999 ක් රක්ෂණයෙන් ආවරණය කරගෙන ඇති බවත්  බැංකුව විගණනයට දන්වා ඇත.

සමස්ත වංචනික ක්‍රියාවලින්  30 ක්ම  බැංකුවේ කාර්ය මන්ඩල සාමාජිකයන් විසින් සිදුකර ඇති අතර එමගින් වංචාකර තිබූ  මුලු මුදල රුපියල් මිලියන 89.88 ක් වී තිබිණි.එයින් මේ වන විට විවිධ ක්‍රමවේද මගින් බැංකුවට අයකරගත් මුදල් ප්‍රමාණයන් හැරුණු විට දැනට පවතින අලාභ ශේෂය  රුපියල් මිලියන 49.53 හෙවත් දැනට පවතින මුලු  අලාභයෙන් සියයට 60 ක් බව විගනණයෙන් පෙන්වා දී තිබේ.
 
බැංකුවේ කාර්ය මන්ඩල සාමාජිකයන් විසින් සිදුකළ වංචනික ක්‍රියා අතර   බණ්ඩාරවෙල  ශාඛාවේ   ටෙලර් යන්ත්‍රයට මුදල් පැටවීමේ දී   සිදුකළ  මුදල්   වංචාවෙන් රුපියල් 3,730,000 ක මුදලක්ද    ,2023 මාර්තු 15 දා බදුල්ල ශාඛාවේ   සිදුකළ රුපියල්    8,979,210 ක ස්ථාවර තැන්පතු වංචාවක් , ගාල්ල ශාඛාවේ සිදුවූ රුපියල්   4,797,550 ක උකස් භාණ්ඩ සොරකමක් ,බදුල්ල   ශාඛාවේ සිදුවූ රුපියල්  8 ,632,666 උකස් රන් භාණ්ඩ සොරකමක්  ,කැකිරාව ශාඛාවේ සිදුවූ රුපියල්  7,199,336 ක උකස් භාණ්ඩ සොරකමක් ද මෙම වංචාවන්ට   අයත්වන බව බැංකුව විසින්  විගණනය වෙත ලබා දුන් මෙකී වංචා පිළිබඳ විස්තරයේ සඳහන් කර  ඇත. 

මේ වන විට පවතින  අලාභයෙන් රුපියල් මිලියන 44.08 ක අලාභ සම්බන්ධ වංචනික ක්‍රියා වසර පහකට වඩා පැරැණි ඒවාය.
වංචනික ක්‍රියා 55 ක්   2021-2024 කාල සීමාවේදී සිදුවූ ස්වයංක්‍රිය ටෙලර් කාඩ්පත් ආශ්‍රිත වංචාවන්ය.එයින් රුපියල් මිලියන 3.22 ක් වටිනාකමකින් යුත් වංචාවන් 38 ක් තුන්වෙනි පාර්ශ්වයක් විසින්  ගෙවුම් යෙදවුමක් හරහා හැක් කරන ලද    ස්වයංක්‍රිය ටෙලර් කාඩ්පත් ආශ්‍රිත තොරතුරු භාවිතයෙන් මාර්ගගත ගනුදෙනු කිරීමෙන් සිදුකළ ඒවාවේ.  මේ   සඳහා කිසිදු  රක්ෂණ වන්දියක් හෝ ලැබී නැත.

වංචාවන්ට සම්බන්ධ මාණ්ඩලික  නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු සේවකයන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම හා ඔවුන් සේවයෙන් ඉවත් ඉවත්  කිරීම හා වංචා කරන ලද මුදල් ලබා ගැනීමට  ඔවුන්ට එරෙහිව   නඩු පැවරීම සිදුකර ඇති බවද විවිධ ක්‍රමවේදයන් මගින් වංචනික මුදල්වලින් කොටසක් නැවත ලබාගෙන ඇති බවද  බැංකුව විගණනයට වාර්තාකර ඇත.

වංචනික ක්‍රියාකාරකම් වලක්වා ගැනීමට හා ඒවා අඛණ්ඩව අධීක්ෂණය කිරීමට බැංකුව විසින් ශාඛා මෙහෙයුම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අහ්‍යන්තර පාලනයක් ක්‍රියාත්මක කළ යුතු බව විගණන කාර්යාලය ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත නිර්දේශ ලබාදී තිබේ.

ජේ.ඉඳුරුවගේ 



Recommended Articles