ජාත්‍යන්තර සංවිධාන සෞඛ්‍ය සේවාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති නිසි ඇගයීමකට


මෙරට සෞඛ්‍ය සේවාව තුල ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්  නිසි ඇගයීමට ලක්කර පුළුල් පහසුකම් සපයමින් නවීන තාක්ෂණයද භාවිතා කර මනා කළමණාකරණයක් තුලින් වඩා ඵලදායි ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි සැළැස්මක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය අතර හමුවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර, එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඉහත කරුණු අනාවරණය කරන ලදි.

ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය, සුභසාධනය හා ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම මෙන්ම ආර්ථික, සාමාජික, සංස්කෘතික හා විද්‍යාත්මක අංශයන් හි  ප්‍රගතිය අරමුණු කරගෙන අන්තර්ජාතික සංවිධාන රැසක් මෙරට නව ව්‍යාපෘතින් ක්‍රියාවට නැංවීමට දැනටමත් සාකච්ඡා පවත්වමින් සිටින බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා  ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් වැනි අන්තර් ජාතික සංවිධාන රැසක් දැනටමත් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ඉහළ නැංවීමට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට ද එකඟත්වය ප්‍රකාශ කර ඇති බව සදහන් කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය රටවල් අතර සහයෝගීතාව හා සම්බන්ධීකරණය ඉහළ නැංවීම තුලින් මෙන්ම ව්‍යාපෘති නිසි පරිදි කළමණාකරණය තුලින් සෞඛ්‍ය ක්ෂේත්‍ර‌යේ අභියෝග ජයගෙන පවතින ගැටළු නිරාකරණය කරගත හැකි බවත්, නව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ව්‍යාපෘතින් ඵලදායීව ක්‍රියාත්මක කිරිමට අනුගමනය කරන වැඩපිළිවෙලට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන බවත්, එම වැඩපිළිවෙල ඇගයීමට ලක් කරන  බව ද පැවසුවාය.

මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය ශ්‍රී ලංකාවේ වාහක රෝග පාලනය, මර්දනය සහ කළමණාකරනය විශිෂ්ට මට්ටමකට ‌ගෙන යා යුතු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එක්ව දැනට මෙරට පවතින සෞඛ්‍ය හා අනෙකුත් ගැටලු පිළිබඳ නිරන්තර දැනුවත් කිරීමක් හා නිරන්තර ක්‍රියාකාරී යාන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරන බවත්, මෙරට ළදරුවන්ගේ සහ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් කැපවෙන බව ද සදහන් කළාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මියව වැඩිදුරටත් දැනුවත් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙරට ක්‍රියාත්මක වු ව්‍යාපෘති නිසි ඇගයීමකට හා කළමණාකරණයට පියවර නොගැනීම තුල පසුගිය කාලය තුළ බොහොමයක් ඉළක්ක සපුරා  ගැනිමටත්, අපේක්ෂිත කරුණු සාක්ෂාත් කර ගැනිමටත් නොහැකිවු බවත් ඉදිරියේ දී එවන් තත්ත්වයක් ඇති නොවීමට නවීන තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වන බවද සදහන් කලේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි,  සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශණී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

 

 



Recommended Articles