ජවිපේ ක්‍රියාකාරීන් දෙදෙනෙක් ඝාතනය කළ ජුලම්පිටිය අමරේට දුන් මරණ දණ්ඩනය තහවුරු කරයි


ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේ පැවති රැස්වීමකට මීට වසර 12කට පෙර කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කර තවත් අයෙකුට මරණීය තුවාල කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද (20) අනුමත කළේය.

සාක්කි විමසා බැලීමෙන් අනතුරුව මරණීය දණ්ඩනය පමුණුවමින් තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළ තීන්දුවට මැදිහත් වීමට අපේක්ෂා නොකරන බව සඳහන් කරමින් අදාළ අභියාචනය නිශ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මහාධිකරණ තීන්දුව අනුමත කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරන් රත්නම් සහ සම්පත් අබේකෝන් යන මහත්වරු හමුවේ මෙම අභියාචනය විභාග කෙරිණී.

තංගල්ල මහාධිකරණයෙන් තමන්ට මරණීය දණ්ඩනය පමුණුවමින් දුන් නියෝගය ඉවත දමා තමන් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලමින් ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නැමැත්තා ගොනු කර තිබු මෙම අභියාචනයේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර තිබිණී.

2012 ජුනි 15 වැනිදා හම්බන්තොට කටුවන ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණ පැවත්වු රැස්වීමකට කඩාවැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා තවත් පුද්ගලයකුට මරණීය තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට එරෙහිව තංගල්ල මහාධිකරණයේ මීට පෙර නඩු පවරා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවට විත්තිකරු වරදකරු බවට තීරණය කළ තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කෙරිණි.

 



Recommended Articles