ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට ජනපති සැරසෙයි


ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බව ජනාධිපතිවරයා කියා සිටි.

කෙටිකාලීන අර්බුද ජයගත් පසු ආර්ථික සහන උදාකරගත හැකි වනු ඇති අතර, රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “ජනාධිපති අපනයන සම්මාන උළෙල” අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළම සහ අද්විතීයම සම්මානය මෙය වන අතර අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන  ප්‍රදානය කෙරේ.

"පසුගිය වසරේ සිට ක්‍රියාත්මක වූ ඇතැම් ආනයන සීමා වැනි ප්‍රතිපත්තිමය මැදිහත්වීම්වල වාසිදායක ප්‍රතිලාභ අද රටට හිමිව තිබෙනවා. එමගින් නව දේශීය කර්මාන්ත සංවර්ධනය සඳහා අවකාශ නිර්මාණය කර තිබෙනවා. මෙම නව කර්මාන්ත පෝෂණය කරමින් කෙටිකාලීන ලාභ ඉපැයීම වෙනුවට ගෝලීය වශයෙන් තරගකාරී විය හැකි ගුණාත්මක නිෂ්පාදන බිහි කිරීමට කර්මාන්තකරුවන් ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකාව සතුව සුවිශේෂී හැකියාවක් පවතිනවා.

හරිත කෘෂි නිෂ්පාදන සහ පිරිසැකසුම්කරණය ක්ෂේත්‍ර සඳහා ආයෝජනයට සුවිශේෂී අවස්ථා ඇති අතර මෙම නිෂ්පාදන සඳහා නව අපනයන වෙළෙඳපොළ අවස්ථා පවතිනවා. ශ්‍රී ලංකාව තුළ අගය එකතු කළ භාණ්ඩ ගෝලීය වෙළෙඳපොළට අපනයනය කළහොත් තවත් බොහෝ අපනයන ආර්ථික වටිනාකමක් රට තුළ නිර්මාණය කර ගත හැකියි. අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු  කඩිනමින් විසඳනවා. අපනයන ක්ෂේත්‍රයේ ඉලක්ක යථාර්ථයක් කර ගැනීම සඳහා රජය සහ පෞද්ගලික අංශය අත්වැල් බැඳගෙන ක්‍රියා කළ යුතුයි" යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

  



Recommended Articles