ජනපතිගේ නියෝගය ක්‍රියාත්මකයි - පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පොලොන්නරුවේ සහල් මෝල්වලට


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගබඩා සහ සහල් මෝල් පරීක්ෂා කොට ඔවුන් සතුව පවතින වී තොග සම්බන්ධව සහ දිනපතා ඔවුන් විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන සහල් ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා පාරිභෝගික අධිකාරියේ විශේෂ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අද පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ  සහල් මෝල් විශේෂ පරීක්ෂාවකට ලක් කළේය. 

දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහල් සැපයුම්කරුවන්ගේ සහල් නිෂ්පාදන ආයතන වලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් යෙදවීමට කටයුතු කළ බව විමර්ශනය සඳහා එක්ව සිටි  පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

මේ අනුව ප්‍රධාන පෙළේ සහල් මෝල් නිෂ්පාදන ආයතන අටක සඳහා නිලධාරීන් දෙදෙනා බැගින් යෙදවීමට කටයුතු කරන බවත් එම නිලධාරින් දෙදෙනා දින දහයක කාලයක් සහල් මෝල් වලින් නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය සහ දිනකට වෙළඳපොළට යවන සහල් ප්‍රමාණය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරන බව එම නිලධාරියා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ නියෝගය මත මේ ක්‍රියාත්මක කළ බව හෙතෙම ඒ මහතා සඳහන් කළේය.

මේ අනුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන හාල් සැපයුම් කරුවන්වන අරලිය සහල් නිෂ්පාදන ආයතනය, නිව්රත්න සහල් නිෂ්පාදන ආයතනය, නිපුණ සහල් නිෂ්පාදන ආයතනය, ලත් සහල් නිෂ්පාදන ආයතනය, මේනක සහල් නිෂ්පාදන ආයතනය, හිරු  සහල් නිෂ්පාදන ආයතනය,  ජයවික්‍රම සහල් නිෂ්පාදන ආයතනය, වී හේන සහල් නිෂ්පාදන ආයතනය යන ආයතන නිරීක්‍ෂණය කොට නිලධාරීන් යෙදවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබේ.



Recommended Articles