අනුරාධපුර පාදෙණිය ඒ - 28 ප්‍රධාන මාර්ගයේ, තලාව නගරය ආසන්නයේදී ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් ඊයේ (1දා) අලුයම මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින්, ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් හතර දෙනකු තුවාල ලබා රෝහල් රෝහල්ගත කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් තලාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ , අවිස්සාවේල්ල පදිංචි එච්. එම්. කුසල් ධනංජය රත්නායක (24), කුලියාපිටිය පදිංචි බී.එම්. රන්දික පියුමාල් බස්නායක (රියදුරු ) (29), බී.එම්, ඉෂාර ධනංජය දිසානායක (26), නමැති පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රියදුරු ලෙස කටයුතු කරන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි තනුජ මදුසංග කරුණාසේන නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථය යාපනය ප්‍රදේශයේ විශේෂ රාජකාරී නිරත වී, නැවත අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් තිබියදී තලාව නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.
ඩිෆෙන්ඩර් රථයේ රියදුරගේ අධික වේගය හා අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම රථය මාර්ගයේ ඉවතට පැන විදුලි රැහැන් කණුවක හා ෙබෝක්කුවේ ගැටී රථය පෙරළී ගොස් තිබූ බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ සිව් දෙනා ගෙන් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබූ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත රියදුරු ලෙස රාජකාරී කරනු ලබන අය තලාව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අනතුර සිදුවන අවස්ථාවේදී රියැදුරා ලෙස කටයුතු කර ඇත්තේ, ජනාධිපති ආරක්ෂක අංශයේ රියදුරෙකු ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.