ජනපති අරමුදලෙන් 2004-2010 දක්වා මුදල් ගත් අය ගැන හෙළිකරනවා


2004 සිට 2010 දක්වා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් දේශපාලනඥයන්ගේ තොරතුරු තමා මීළඟ පාර්ලිමේන්තු දිනයේදී හෙළි කරන බවත්, එම පිරිස අතර වත්මන් ආණ්ඩුවේ මෙම චෝදනා ඉදිරිපත් කරන මැති ඇමතිවරුන්ද සිටින බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මාධ්‍ය වෙත අද (23දා) අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“ගිය සතියේ දිගටම ගැහුවා. ඒවට මම පුවත්පත් සාකච්ඡාවකුත් තියලා උත්තර දුන්නා. මට 2019 ඇතිවුණ හෘද්‍යාබාධය නිසා. මම ඉල්ලීමක් කරලා නෙවෙයි. ජනාධිපතිතුමා මාව බලන්න ඇවිල්ලා, එතනින් යන ගමන් ජනාධිපති ලේකම් කාර්යාලයට කියලා තිබුණා මේකේ බිල් එක ගෙවන්න ලෑස්ති වෙන්න කියලා. නැතුව මම ඒකේ කොළයක්වත් අත්සන් කරලා තිබුණේ නෑ.

 එහෙම අත්සන් කරලා ගත්තා නම් තව එකක් කියන්න පුළුවන්. ඒ ගත්ත ලක්ෂ 05 තමයි අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ. මම පිළිගන්නවා ලක්ෂ 200 -300 ගත්ත එක සම්පූර්ණ වැරදියි. ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ගත්තේ 2010 ඉඳලා ඉස්සරහට. 2004 ඉඳලා 2010 වෙනකන් ඔය කියන මහත්වරුත් සල්ලි අරන් තියෙනවා. මම ඊළඟ සතියේ පාර්ලිමේන්තුවේ හරියට මම කියලා දෙන්නම් කවුරු කවුරුද අරගත්තේ කියලා.

ඔය අද කියන යාලු මිත්‍රයෝ ඔක්කෝම අරන් තියෙනවා. මොකද ඒ අය 39දෙනෙක් 2004 පාර්ලිමේන්තුවේ හිටියා. ඒ 39දෙනාගේ කට්ටියත් ගත්ත ඒවා කියන්නේ නෑ දැන්. 2010 ඉඳලා මෙහාට ගත්ත ඒවා ගැන කියන්නේ. 2004 සිට 2010 වෙනකන් සමහර අය හෘදයාබාධවලට සල්ලි අරන් තියෙනවා. තමන්ගේ නෝනලාගේ කැන්සර්වලට සල්ලි අරගත්ත අය මෙතන ඉන්නවා.

 මම කියන්නම් ඒවා. මොකද හේතුව අපි මඩ ගහන්නේ නෑ. ඒත් මඩ ගහන්න පටන් ගත්තොත් ඒ අය දැනගන්න ඕනි අපි ඔතන පිඟන් හෝදලා තමයි පිඟානක් දෙකක් බිඳිලා ඇත්තේ. ඒ අය මෙච්චර කාලයක් පිඟන් හේදුවේ නෑ. දැන් ඒ අය පිඟන් හෝදනවා. තව අවුරුදු 05ක් ඒ අය පිඟන් හෝදන්න ඕනිනේ. මෙච්චර කල් පිඟන් හෝදපු මනුස්සයට බැණ බැණ හිටියා. දැන් පළවෙනි වතාවට පිඟන් හෝදනවා. එහෙම හෝදද්දි පිඟානක් දෙකක් බිඳෙනවාම තමයි. ඒ අයත් මනුස්සයොනේ. මනුස්සයෝ අතින් තමයි වැරදි වෙන්නේ. තව වැරදි වුණු ඒවා තියෙනවා. අපි හිමීට කියන්නම්.”



Recommended Articles