ජනතාව ජීවත් කරවන්න බැරි ආණ්ඩුවක්


ජනතාව ජීවත් කරවන්න බැරි ආණ්ඩුවක් වර්තමානයේ  බලයට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අවිස්සාවෙල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා  මෙලෙස අදහස් දක්වා සිටියේය.

“අද රටේ තිබෙන්නේ ජනතාව ජීවත් කරන්න බැරි යුගයක්. ජීවත් කරවන්න බැරි ආණ්ඩුවක්. ගොවියා වී ටික විකුණා ගන්න බැරිව අනාථ වෙලා සිටිනවා. පාරිභෝගික ජනතාවට දරාගත හැකි මුදලකට සහල් ලබා ගන්න බැරිව ඉන්නවා. පොල් ගෙඩියක් ගන්නට බෑ. ලුණු ටික ගන්නට බෑ. අත්‍යාවශ්‍ය ආහාර පාන ලබා දෙන්න බැරි රජයක් කොහොමද ජනතාව ජීවත් කරවන්නේ? එදා විපක්ෂයේ ඉන්නකොට කුඹුරට බැහැලා කිව්වේ රු.150ක සහතික මිලක් දෙනවා කියලා. එහෙම කියපු අය අද කුඹුරට ගිහින් ගොවියා හමුවන්නට බය වෙලා සිටිනවා, ගොවියෝ බලාගෙන ඉන්නවා අර 150 සහතික මිල දෙනවා කියපු කණ්ඩායම කුඹුරට එනකන්. කුඹුරේදී සලකන්න. මේ වගේ බොරුව, රැවටීම, ජනතාව නන්නත්තාර කිරීම, ඒ පුරුද්ද තුළ අද මුළු සමාජයම අනාථ වෙලා.

අද රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්නවා. රාජ්‍ය සේවකයන් හිතුමතේ මාරු කරලා යවනවා. තමන්ට ගැතිකම්, දේශපාලන හිතවත්කම් පවත්වන පුද්ගලයන් ආරක්ෂා කරන්න, නියමිත තැන්වල ස්ථාපිත කරන්න වැඩ කරනවා. විශේෂයෙන්ම මම කියන්න කැමතියි මේ රටේ ජනතාව අනාථ භාවයට පත්වන මේ රාජ්‍ය ප්‍රතිපත්තියට විරුද්ධව අපි නැගී සිටිනවා පමණක් නෙවෙයි, අගතියට, අසහනයට, අසරණ භාවයට , දේශපාලන පළිගැනීම්වලට ලක්වෙන අය වෙනුවෙන් හඬක් නගලා ඔබගේ දුකට පිහිට වෙන අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.”



Recommended Articles