ජනතාව ගත යුතු තීරණය ගැන දිලිත් කියයි


මෙවර ජනාධිපතිවරණයේදී  සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගිහින් ජනතාව තීරණය ගත යුතු බව සර්ව ජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.

කොට්ටාව නගරයේ අද (18දා) පැවති අවසන් මහා ජන රැලිය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් දිලිත් ජයවීර මහතා  මෙලෙස අදහස් දක්වා සිටියේය.

“දැන් වෙනස කෝ? 225ම එපා කියපු, සිස්ටම් එක චේන්ජ් කරන්න කියපු දූෂිතයන් එළවා දමන්නට කියපු, අපිට මොකද වුණේ? අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න ඔය අපේක්ෂක මුහුණත් තහඩු ඔක්කෝම ඒ පරණ මුහුණුමයි. දැන් වෙනස ඉල්ලපු අයට වෙනසක් දෙන්න , දූෂණය නැති කරන්න , හොරු අල්ලන්න දේශපාලන ආඛ්‍යානයක් ගෙනාවා. හොරු ඇල්ලීම.

මේ තීරණාත්මක මැතිවරණයේදී අපි බොහෝම කලකිරිලා ඉන්නේ. අපිට ඕනෑ මේ රට ඉස්සරහට යවන්න. පස්සට යවන්න නෙවෙයි. අපිට ඕනෑ මේ රට තුන්වැනි ලෝකයෙන්  පළවෙනි ලෝකයට යන එක අඩියක් හරි තියන්නට. යම ලෝකයට ගෙනියන්න නෙවෙයි. 

මේ තීරණාත්මක අවස්ථාවේදී ඔය තුන් හතර දෙනාම එකතුවෙලා ඔබ බලාපොරොත්තු වූ වෙනස මොන විදියටද එන්නේ කියලා ඔබම හිතා බලන්න. ඔබේ ජීවිතය වෙනස් වෙනවා නම් එකම එක විදියයි තියෙන්නේ. ඒ අපේ සදාදරණීය මාතෘ භූමිය මේ විදේශීය බලපෑම් වලට යටත් වෙලා පාවා දෙන බව ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඔබට ආරාධනා කර සිටින්නේ ඔබගේ ජීවිතය වෙනස් වෙන්න ඕනෑ. ඒ නිසා තමයි අපි ඉදිරිපත් කළේ උපායමාර්ගික වැඩ පිළිවෙළ. 

මේ තීරණාත්මක ජනාධිපතිවරණයේදී  ඔබ මේ රටට විශ්මිත තීරණයක් පෙන්විය යුතුයි. පුදුම එළවනසුලු තීරණයක් පෙන්විය යුතුයි. සම්ප්‍රදායික දේශපාලන රැස්වීම් වල අද බස් වලින් ගෙනත් පෙන්වන ඒ අහිංසක ජනතාව ඔවුන්ගේ සැබෑ ජීවිතයේදී, ඔවුන්ගේ නිවසේදී , ඔවුන්ගේ කුස්සියේදී කොහොමද ඔවුන් සතුට ළඟා කර ගන්න විදිය  කියලා අපි ඔවුන්ට කිව යුතුයි. මේ රටේ 70%ට ආසන්න ග්‍රාමීය ජනතාව දුෂ්කර ජීවිතයක් අද ගත කරනවා. සතුට කියන දේ ඔවුන් දන්නේවත් නැති තරම්. ඔවුන්ට අවම ආදායම නෑ. 

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෙවන් අනගි රන්වන් අවස්ථාවක් උදා වෙලා නෑ. හැමදාම ඔබට විකල්පයක් තිබුණේ නෑ. සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගිහින් ඔබේ තීරණය ගන්න. ඔබේ හෘද සාක්ෂියට අනුව ඒ පෙට්ටිය ඇතුළට ගියාම  ඔබගේ නිදහස් මනසින් හිතලා  කතිරයක් ගහන්න මෙච්චර කල් තැනක් තිබුණේ නෑ. අපි නිර්මාණය කරලා තියෙන්නේ ඔබගේ නූපන් දරුවාත්, ඔබත් , ඔබගේ දරුවාගේ අනාගතයත් මේ මාතෘ භූමියත් රැකෙන වැඩපිළිවෙළක්. ඒ වැඩ පිළිවෙළටයි අපි ඔබට ආරාධනා කර සිටින්නේ”



Recommended Articles