ඡන්දය දෙන්න සියලුම රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට නිවාඩු දෙන්න


ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පැවසීය. ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ට ආයතන සංග්‍රහය අනුව අවම පැය 4ක කාලයක් ඇතුළුව දුර ප්‍රමාණය අනුව ඡන්ද පොළට යෑම සඳහා නිවාඩු ලබාදිය යුතු බව රත්නායක මහතා පැවසුවේය.

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (19දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණ. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය. 

 පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබාදීම අවශ්‍ය බව ද කොමිසමේ සභාපතිවරයා පැවසුවේය. ඒ අනුව කිලෝමීටර් 40ක් හෝ ඊට අඩු නම් දින භාගයක නිවාඩුවක්, කිලෝමීටර් 40 - 100 අතර දුරක නම් දිනක නිවාඩුවක්, කිලෝමීටර් 100 - 150 අතර දුරක නම් දින එකහමාරක නිවාඩුවක්, කිලෝමීටර් 150ට වැඩි දුරක නම් දින දෙකක නිවාඩුවක් ලබාදිය යුතු බව සභාපතිවරයා සඳහන් කළේය. 

තමන්ගේ සේවා ස්ථානය බොහෝ දුර බැහැර පිහිටා ඇති ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට දින තුනක් ගතවෙනවා නම්, ඒ සඳහා ගතවන දින තුනක නිවාඩුව ද ලබාදීමට ආයතන කටයුතු කළ යුතු බව මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩලවල අයට, ශිෂ්‍යයන්ට හා ඇඟලුම් කර්මාන්තශාලා ඇතුළු සියලුම පෞද්ගලික සේවා ස්ථානවල සේවකයන්ට ඉහත සඳහන් පරිදි ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස සියලු ආයතනවලින් මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.

 



Recommended Articles