ඡන්ද විමසීම හෙට උදේ හතට ඇරඹෙයි


ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට(21දා) උදේ 7.00 සිට සවස 4.00 දක්වා කාලයෙහි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඡන්ද පොළ වෙත යන විට  මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබෙන වලංගු  අනන්‍යතා ලේඛන 09න් එකක්  රැගෙන යාම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ අනුව  පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ජාතික හැඳුනුම් පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත(විශ්‍රාම වැටුප්  දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද), වැඩිහිටි හැඳුනුම්පත ( ප්‍රා දේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ),  පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පූජ්‍ය පූජක හැඳුනුම්පත,  පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින්  නිකුත් කරනු ලබන  ජාතික හැඳුනුම් පතේ තොරුතුරු  තහවුරු කිරිමේ ලිපිය,  මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත හෝ ආබාධිත තැනැත්තන්  සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික  හැඳුනුම්පත භාවිත කළ හැකි වේ.
  ඉහත හැඳුනුම්පත්‍ අතරින්  කවර හෝ එකක්  ඉදිරිපත් නොකළ හොත්  ඡන්ද පොළේදී  ඡන්ද පත්‍රිකාවක්  නිකුත් නොකරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එසේම  අපහැදිලි හැඳුනුම්පත්  ( ඡායාරූපයෙන් පුද්ගලයන් හඳුනා ගැනීමට නොහැකි නම් හෝ  නම කියවිය නොහැකි ලෙස මැකී ඇති), අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු  හා රාජ්‍ය ආයතන මගින්  නිකුත් කර ඇති සේවා  හැඳුනුම්පත්,  ජාතික හැඳුනුම්පත්  ඉල්ලීම් කිරීමේදී  නිකුත් කරන  කුවිතාන්සි ආදී ඡායාරූප සහිත හෝ රහිත වෙනත් කිසිදු ලියවිල්ලක්  ඡන්ද පොළේදී පිළිනොගන්නා බවද පෙන්වා දෙයි

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පිරිස් සිටිනවා නම් තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බවද සඳහන් කරයි.

නිලඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැති වුවත් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව ලැබුණද නිල ඡන්ද පත්‍රිකාව රැගෙන යාම ඡන්ද පොළේදී පහසුවක් වන බව පෙන්වා දෙයි.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයන් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කළ අතර  ඉන් 39 දෙනෙකු නාම යෝජනා භාර දීම සිදු විය. නාම යෝජනා භාරදුන් අපේක්ෂකයන් අතරින් එක් අපේක්ෂකයෙකු මේ වන විට මිය ගොස් තිබේ.

මේ අනුව අපේක්ෂකයන් 38 දෙනෙකු වෙනුවෙන් ඡන්දය භාවිත කළ හැකිය.  මියගිය අපේක්ෂක මොහමදු ඉල්යාස් මහතාට ඡන්දය සලකුණු කළ හොත් එය ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ඡන්ද පත්‍රිකාවක් සේ සලකා කටයුතු කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ රාජකාරි සඳහා  පොලිස් නිලධාරීන් 63000කට අධික ප්‍රමාණයක්,පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්  2500ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයන් 12000ක් යොදවා සිටියි.

 ඡන්ද මධ්‍යස්ථාවල ආරක්ෂාව ඇතුළු මැතිවරණ කටයුතු සඳහා මෙම නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබෙන අතර,  ජංගම මුර සංචාර 3083ක් සිදුකිරීමට  සැලසුම් කර තිබේ. ඒ  සඳහා පොලිස් නිලධාරීන් 12400කට අධික ප්‍රමාණයක් අනුයුක්ත කර ඇත.
මැතිවරණ දිනයේදී හා මැතිවරණ දිනයෙන් පසුව මාර්ග බාධක යොදවන බවත්, මේ සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂකාර්ය බළකා නිලධාරීන් යොදවන බවත්, කැරලි මර්දන කණ්ඩායම් ස්ථාපිත කර තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

 මැතිවරණ කොමිෂන් සභාව පිහිටා තිබෙන පරිශ්‍රයට විශේෂ ආක්ෂාවක් ලබා දී තිබෙන අතර, දිවයිනම ආවාරණය වන පරිදි ජංගම මුර සංචාර සිදුකරන බවත්, මේ සඳහා වාහන 4600ක් යොදාවා තිබෙන බවත් පවසයි. ඡන්ද දායකයන්  එක්කෝටි හැත්තෑඑක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක් ඡන්දය ලබා දීම සදහා සුදුසුකම් ලබා තිබේ.  මෙම පිරිසෙන් ඡන්ද දායකයන්  හත් ලක්ෂ දොළොස් දහස් තුන්සිය දහනවයක් තැපැල් ඡන්ද දායකයෝ වෙති. 



Recommended Articles