ගෝඨා හා සලේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්


පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු සාක්ෂි කරුවෙකු කරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවූ බුද්ධි අංශය වැරදිකරුවන් බවට පත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවත්, ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ආණ්ඩුව තුළ තිබෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

කොළඹ අද (03දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.  බුද්ධි අංශ වැරදිකරුවන් බවට පත් කිරීමට සාක්ෂි ලබා ගැනීමට සූදානම් වන අසාද් මව්ලානා ගැන ප්‍රශ්න 08ක් එහිදී උදය ගම්මන්පිළ මහතා ඉදිරිපත් කළේය.

ඒවා මෙසේය.
01.කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියේ අධීක්ෂණය යටතේ සිදුවන විමර්ශනයකට ලබා ගත් අසාද් මව්ලානාට එරෙහිව තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කළේ කාගේ බලපෑමටද? 

02.මව්ලානාට එරෙහිව ෆාතිමා බෙනාසීර් කරපු පැමිණිල්ල තමන් විසින් පිල්ලයාන්ගේ බලපෑමක් නිසා කරපු පැමිණිල්ලක් බවට ප්‍රකාශයක් කරන ලෙස පොලීසිය බලපෑම් කළේ කාගේ උවමනාවටද? 

03.තමන්ට පොලීසිය බලපෑම් කරන බවට ෆාතිමා බෙනාසීර්ගෙන් පටිගත කළ ප්‍රකාශයක් අම්පාර පොලීසියේ ඩී.සී.ඩී.බී හී සුරක්ෂිතව තබා තිබේද? 

04.සහරාන්ගේ සොහොයුරු රිල්වාන්ට ප්‍රතිකාර කළ සෆ්රාස් මොහොමඩ් සුෆියාන්ව රිල්වාන්ට හඳුන්වාදීම පිළිබඳ පොලීසිය අසාද් මව්ලානාගෙන් ප්‍රශ්න කරනවාදඃ

05.ව්‍යාජ නමකින් පෙනීසිට ෆාතිමා බෙනාසීර්ව වංචනික ලෙස විවාහ කරගැනීම පිළිබඳ කල්මුනේ මහේස්ත්‍රත් උසාවියේ නඩු අංක  B/811/2023යටතේ ඇති නඩුව සඳහා අසාද් මව්ලානාව කල්මුනේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනවාද? 

06.දෙහිවල ස්පෑන් ටවර් සුපිරි නිවාසයක් ඔහුගේ නමින්ම මිලදී ගැනීම පිළිබඳ මුදල් විශුද්ධි කරන පනත යටතේ අසාද් මව්ලානාගෙන් ප්‍රශ්න කරනවාද? 

07.ඒ වගේම 2022 පෙරවාරි 22 දිනැති රුපියල් ලක්ෂ 20ක ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ චෙක්පතක්  විවාහ වන අවස්ථාවේ බිරිඳට මහාර් ලෙස ලබා දෙමින්, එම චෙක්පත අගරුවීමෙන් සිදු කළ චෙක්පත් වංචාව පිළිබඳ අසාද් මව්ලානාට නීතිය ක්‍රියාත්මක කරනවාද? 

08.ජනාධිපති විමර්ශන කමිටුවක් විසින් බොරුවක් බව තහවුරු කර ඇති බුද්ධි අංශ වලින් පාස්කු ප්‍රහාරය සිදු කළා යැයි කියන මිථ්‍යාවට යළි පණගැන්වීමට තිරපිටපත් සකස් කරන්නේ පුංචි ඡන්දයේදී ජනතාව යළිත් රැවටීමටද? 

උදය ගම්මන්පිළ මහතා මෙසේද පැවසීය.

“පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවත්, ඔහු අල්ලා ගන්න බවත් පොරොන්දුවෙලා මේ ආණ්ඩුව බලයට පැමිණි බව අපි කවුරුත් දන්න කාරණයක්. සැබැවින්ම මේ ප්‍රහාරයට වගකිව යුතු අය. මේ ආණ්ඩුව තුළ සිටින නිසා මහ මොළකරුවෙකු ලෙස කවුරුන් හෝ කෙනෙකු ඉදිරිපත් කරලා, සැබෑ වගකිව යුත්තන් රැක ගැනීම තමයි මේ ආණ්ඩුවේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ අලුත්ම තිර රචනාවක් සිදුවෙමින් පවතිනවා. පාස්කු ප්‍රහාරය සිදු කළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ කියලා චැනල් ෆෝ නාලිකාව චෝදනාවක් එල්ල කළා අපට මතකයි.

නමුත් ඒ චෝදනාව අතාර්කික, පදනම් විරහිත චෝදනා කියන එක ඉමාම් කමිටු වාර්තාවෙන් ඉතාම තාර්කිකව පෙන්නුම් කළ බව අපි පසුගිය ඔක්තෝබර් මාසයේ මේ රටට හෙළි කළා. අපි ඒ හෙළිදරව්ව කළාට පස්සේ තමන් හදාගත්ත බොරුව අතේ පත්තු වුණු නිසා අලුත් බොරුවක් හදා ගැනීමේ උත්සාහයක පසුගිය කාලයේ  ආණ්ඩුව යෙදිලා හිටියා. නමුත් තාර්කිකව අලුත් බොරුවක් හදාගන්න බැරිවුණු නිසා චැනල් ෆෝ බොරුවම ඉදිරියට අරන් ගිහින්  පාස්කු ප්‍රහාරය කළේ  ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන්, ඒ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන්න කියන චෝදනාව නගලා, එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරපු මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතාත් , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුව තුළ තිබෙනවා. 

ඒ සඳහා පදනම විදියට තමයි පාස්කු ප්‍රහාරය සිදු කළේ  ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් කියන මිථ්‍යාව සමාජගත කරන්න ආණ්ඩුව අසාර්ථක උත්සාහයක යෙදිලා ඉන්නේ. පාස්කු ප්‍රහාරය සිදු කළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ කියන බොරුව චැනල් ෆෝ නාලිකාව හරහා ලෝකයට කිව්වේ අසාද් මව්ලානා නොහොත් මොහොමඩ් මිහිලාර් මොහොමඩ් කන්සීර් කියන පුද්ගලයා. ඔහු දේශපාලන රැකවරණ පතා මේ වන විට ස්විස්ටර්ලන්තයට පැනගොස් සිටින්නේ. චැනල් ෆෝ නාලිකාව හරහා බොරු කීමේ විපාක දිට්ඨ ධම්ම වේදීනීය කර්ම ලෙස ඔහුට පලදෙන්න පටන් ගත්තා. ඔහු විවාහ දෙකක් කරගෙන හිටියේ. දෙවැනි විවාහය කරන් හිටියේ ඇත්ත නමින් නෙවෙයි, බොරු නමකින් පෙනී හිටලා ව්‍යාජ විවාහ සහතිකයක් හදාගෙන. 

ඒත් චැනල් ෆෝ නාලිකාවේ අසාද් මව්ලානා කතා කරනවා දැක්කම දෙවැනි බිරිඳ මේ මම විවාහ වුණු පුද්ගලයා, ඔහුගේ ඇත්ත නම අසාද් මව්ලානා, වෙනත් නමකින් විවාහ වෙලා මාව රැවැට්ටුවා කියන කාරණය දැනගන්නවා. මේ අනුව විවාහක දෙවන බිරිඳ සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි ෆාතිමා ජෙස්ලි බෙනාසීර් තමන්ව බොරු නමකින් පෙනී සිටිමින් ව්‍යාජ විවාහ සහතිකයක් හදලා විවාහ කර ගැනීම පිළිබඳ ෆාතිමා බෙනාසීර් සයින්දමරුදු පොලීසියට පැමිණිල්ලක් කරනවා.

පොලීසිය මේ පැමිණිල්ල විමර්ශනය කරලා කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක B/811/2023 කියන බී වාර්තාව ගොනු කරලා අසාද් මව්ලානාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගන්නවා. ඒ විදෙස් ගමන් තහනම ගන්න විටත් මොහු රටින් පැනලා හිටියේ. පනින්න හේතුව පාස්කු ප්‍රහාරයට තිබෙන සම්බන්ධය.

දැන් මේජර් ජනරාල් සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගන්න නම් අසාද් මව්ලානාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න ඕනෑ. නමුත් අසාද් මව්ලානාට ප්‍රකාශය ලබා දෙන්න ලංකාවට පැමිණෙන්න විදියක් නෑ විදෙස් ගමන් තහනමක් තිබෙන නිසා පොලීසියට සිදු වෙනවා ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවට අරන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න.දැන් මේ අයගේ සැලැස්ම වෙලා තියෙන්නේ  කෙළින්ම මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කරලා  අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහෙස්ත්‍රාත් වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙන්න. ඒත් මේ වැඩේ කරගන්න බෑ මේ විදෙස් ගමන් තහනම තියෙන නිසා.

විදෙස් ගමන් තහනම ඉවත් කරන්නත් බෑ. මේ හොර විවාහය කරගන්න ව්‍යාජ විවාහ සහතිකය හදන්න මව්ලානාට සහය දුන්න අබ්දුල් රයිම් නැමැති පුද්ගලයා  පොලීසියෙන් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරලා, මේ විට ඇප මත මුදා හැරලා ඉන්නේ. දැන් මේ ආණ්ඩුවේ පාස්කු නාටකය ඉදිරියට ගෙනියන්න  මේ විදෙස් ගමන් තහනම බාධාවක්. 

මේ අනුව පොලීසියට උපදෙස් ලැබෙනවා ඉහළින් අසාද් මව්ලානාගේ නීතිඥයෙක් විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට උසාවියට මොසමක් ඉදිරිපත් කරයි, පොලීසිය ඒකට විරුද්ධ නොවී සිටිය යුතුයි කියලා. නීති විරෝධි කටයුත්තක් සඳහා ඉහළින් උපදෙස් ලැබෙනවා. ඇත්තම කතන්දරේ අසාද් මව්ලානා නෙවෙයි මේ නීතිඥයා ලෑස්ති කරන්නේ. මේ නීතිඥයා ලෑස්ති කරන්නේ අම්පාර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියෙක්. 

ඒ අනුව පසුගිය ජනවාරි 21 වැනිදා ආණ්ඩුව විසින්ම සූදානම් කළ නීතිඥවරයා කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියේ මෝසමක් ඉදිරිපත් කරලා අසාද් මව්ලානාට එරෙහිව තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන්න කියලා අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා. ඉහළින් ලැබුණු උපදෙස් නිසා මේ විදෙස් ගමන් තහනම ලබා ගත් සයින්දමරුදු පොලීසියේ නිලධාරීන් එයට විරෝධය පළ කරන්නේ නෑ. ඒ අනුව අසාද් මව්ලානාට තිබෙන විදෙස් ගමන් තහනම උසාවිය විසින් ඉවත් කරනු ලබනවා. 

දැන් මේ නීති විරෝධී ක්‍රියාව නිසා තමන්ට අනාගතයේ යම් දවසක ප්‍රශ්නයක් වේවි කියලා බියට පත් පොලිස් නිලධාරීන් ෆාතිමා බෙනාසීර්ව හමුවෙලා ඇයට බලපෑම් කරනවා ප්‍රකාශයක් ලබා දෙන්න ඔබ මේ පැමිණිල්ල කළේ ඇගේ උවමනාවට නෙවෙයි, හිටපු අමාත්‍ය පිල්ලයාන්ගේ බලපෑමෙන් කියලා. නමුත් මේ අභීත කාන්තාව පොලීසියේ බලපෑමට, රාජ්‍ය යාන්ත්‍රණයේ බලපෑමට යට නොවී ඒ ප්‍රකාශය සිදු කරන්න ප්‍රතික්ෂේප කරනවා. මේකෙන් පොලීසිය තවත් ලොකු අමාරුවක වැටෙනවා.

ඒ නිසා ඇය තමන්ට බලපෑම් කිරීම මත පොලීසියට පැමිණිලි කරනවා. ඒ පිළිබඳ පොලීසියේ ප්‍රකාශයක් සටහන් කරගන්නවා විතරක් නෙවෙයි, පොලීසිය තමන්ගේ මතු ආරක්ෂාවට ඇය කරන ප්‍රකාශය පටිගත කරනවා. ඒ පටිගත කළ ප්‍රකාශය මේ වන විට අම්පාරේ ඩී.සී.ඩී.බී එකේ සටහනක් තබලා මේ පටිගත කළ ඇගේ ප්‍රකාශය සුරක්ෂිතව තිබෙනවා. 

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු කීර්තිමත් ත්‍රිපුද්ගල කමිටුවක් අසාද් මව්ලානා විසින් බුද්ධි අංශ වලට නගන චෝදනාව බොරු, ඇත්තෙන්ම පාස්කු ප්‍රහාරයට දායක වී ඇත්තේ අසාද් මව්ලානා කියලා නිගමනය කරලා තිබියදී ආණ්ඩුව මේ මිය ගිය කරුණට යළි පණ දෙන්න උත්සහ කරමින් බොරුවක් වැපිරීමට දරන උත්සාහයට මහජන මුදල් නාස්ති කරන්න දරන වෑයම අපි පොඩ්ඩක් අමතක කරමු. ආණ්ඩුවටත් දැන් මහ මොළකරුවෙකු සොයාගන්න බැරුව විපතක්නේ වෙලා තියෙන්නේ. මහජන මුදලින් හරි තමන්ගේ විලි වසා ගැනීමට රෙදිකඩක්  මසාගැනීමට ආණ්ඩු දරන උත්සාහයට අපි අනුකම්පා කරමු. 

නමුත් බොරු නමක් දීලා ,වංචනිකව කාන්තාවක් විවාහ කරගෙන ඇගේ අනාගතේ විනාශ කිරීම ඇතුළු බලවත් අපරාධ ගණනාවක් සිද්ධ කරපු අසාද් මව්ලානාට මේ බොරුවට දැයක වුණොත් කළ සියලු වැරදි වලින් නිදහස් වීමට ආණ්ඩුව එකඟ වෙනවා නම් , කාන්තා විමුක්තිය ගැන පොත් ලියූ දේශන පැවැත් වූ ආචාර්ය හරිණි අමරසූරිය මැතිනිය අග්‍රමාත්‍ය ධුරය දරන සමයක කාන්තාවකට මෙවැනි අසාධාරණයක් වීමට ඉඩ හැරීම හැකිද, යුතුද කියන ප්‍රශ්නය අපි අගමැතිතුමියගෙන් අහනවා. 

ඒ නිසා පාස්කු ප්‍රහාරය ගැන ඕනෑම බොරු පරීක්ෂණයක් කරන්න, ඒකට කමක් නෑ. ඒත් අසාද් මව්ලානා කර ඇති අපරාධ කිසිවකින් ඊට හිලව් වීම සඳහා කලින් කරපු අපරාධ වලින් ඔහු නිදහස් කරන්න බෑ. ”



Recommended Articles