ගුවන්තොටුපළේ ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ ධාරිතාව වැඩි කිරීමට යයි


ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වාගෙන යාමේ රජයේ වැඩපිළිවෙල නිසාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා අතිවිශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අඛණ්ඩව ගලා ඒම සහතික වනබව ඇමතිවරයා පැවසීය. ඒ ඉහත පර්යන්තයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවේදීය.

එලෙස ගුවන්යානා තෙල් බෙදාහැරීම හරහා රටට ලැබෙන විශාල විනිමය ප්‍රමාණය අහිමි කරමින් ඒ සදහා තවත් විදේශ සමාගම් දෙකකටද අවසර ලබාදීමට පෙර පැවති රජය සැළසුම් කළත් ඵෙතිහාසික ජනතා ජයග්‍රහණය විසින් එම සැළසුම් පරාජය කළ බවද ඇමතිවරයා පැවසීය.

රටේ සම්පත් ආදායම් ලබන මාර්ග අන්සතු කරමින් පුද්ගලික ලාභ ලබන්නට තැත්කළ එම වැඩපිළිවෙල පරාජය කරමින් බලයට පත්වූ ජාතික ජන බලවේගයේ රජය රටට ආදායම් උත්පාදනය කරන මෙම ව්‍යාපෘතිය වඩාත් සංවිධිතව අවශ්‍ය යටිතල පහසුකම් හා ක්‍රමවේද වැඩිදියුණු කොට දිගින් දිගටම රටට විදේශ විනිමය ලැබීම සහතික කරනු ඇතැයි ප්‍රකාශ කළේය.

තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, ගුවන්යානා සදහා තෙල් නිකුත් කිරීමේදී ජාත්‍යන්තරව පිළිගත් ඉහළම තත්වපාලන ක්‍රමවේද භාවිතා කරන බවත් තෙල් ගබඩා ධාරිතාව ලීටර් මිලියන 13ක් පමණ දක්වා වැඩි කරන්නට කටයුතු කර ඇති බවත් ඉන්ධන නල පද්ධතියද වැඩිදියුණු කර බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ඉදිරි වසර 20කදී අවශ්‍ය වන නවීකරණ අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් සිදුකීරිමට මූලික අඩිතාලම දමා අවසාන බවත් පැවසීය. මුතුරාජවෙල සිට ඉදිකෙරෙන විශේෂ නලපද්ධතියක් හරහා මෙම පර්යන්තය වෙත ඉන්ධන රැගෙන ඒමේ සැලසුමක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සදහන් කළේය.

මෙම නිරීක්ෂන චාරිකාවට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති D.J.A.S. De S. රාජකරුණා කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ ඇතුළු ඉහළ නිළධාරීන් එක්වූහ.



Recommended Articles