ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වෙන්න ගිය තරුණයෙක් අත්අඩංගුවට


කටුනායක ගුවන් තොටුපොළ මුර කපොලු තුළින් රිංගා ගොස් , ගුවන් යානා අංගනය  තුළ නවතා තිබූ ගුවන් යානයකට අනවසරයෙන් ඇතුළු වීමට තැත් කළ  තරුණයෙකු 09/12 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු කොළඹ , ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ , සාන්ත ජෝශප් වීදියේ පදිංචි මොහොමඩ් පවුමි මොහොමඩ් නසීර් නැමැති 23 හැවිරිදි තරුණයෙකි .

මොහු දෙවරක් විදේශ ගත වී ඇති අතර , අවසන් වශයෙන් ඔහු සිය පියා සමග ඉන්දියාවේ චෙන්නායි නුවර වාසය කර තිබේ .

මෙම තරුණයා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ මුර කපොලු අතරින් රිංගා ගොස් , ගුවන් තොටුපොළ ගුවන් යානා අංගනයේ නවතා තිබූ ඉන්දියාවේ චෙන්නායි නුවර බලා 09/12 දින අලුයම 03.45 ට පිටත්ව යාමට සූදානම් කර තිබූ , ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ - 1172 දරන ගුවන් යානයට ඇතුළු වීමට තැත් කර තිබේ .

ඔහු එම අවස්ථාවේ  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .

තරුණයාගේ සොහොයුරෙකු පොලිසිය වෙත කැදවා සිදු කළ විමර්ශන වලදී මොහු මානසික රෝගාබාධයකින් පෙළෙමින් සිටින අතර , ඔහු ඒ සදහා වෛද්‍ය ප්‍රතිකාර ද ලබා ගන්නා බවත් අනාවරණය කර තිබේ . එහෙත් පසුගිය මාසය තුළ මොහු එම රෝගාබාධ තත්වයට අවශ්‍ය ඖෂධ ලබා ගෙන නොමැති බව ද එම තරුණයාගේ සොහොයුරා වැඩිදුරටත් පවසා තිබේ .

කොට කළිසමකින් සහ කමිසයක් ඇද සෙරෙප්පු දෙකක් දමා සිටි මෙම තරුණයා , ඉන්දියාවේ චෙන්නායි වෙත යාම සදහා එසේ ගුවන් යානය වෙත ගමන් කළ බව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති තරුණයා 09/12 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් , අධිකරණය මගින් මොහු පිළිබඳ මානසික රෝග වාර්තාවක් ලබා ගැනීමට නියමිතය .



Recommended Articles