ගුරුවරයෙකුට කුරුඳුපොලුවලින් ගැහුවැයි බෙන්තොට පාසලක ගුරුවරු නිවාඩු


බෙන්තොට ප්‍රදේශයේ මහා විද්‍යාලයක  ගුරුවරයෙකුට ආදි සිසුන් කිහිප දෙනෙකු විසින් පහර දීමේ සිද්ධියක් මුල් කරගෙන අද දින එම විදුහලේ විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති හැර පනහක පමණ පිරිසකගෙන් යුත් ගුරු මණ්ඩලය නිවාඩු ලබා සේවයට පැමිණ නැති බව එම විදුහල් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම අද දින සිසු සිසුවියන්ගේ පැමිණීම ඉතා අඩු ප්‍රමාණයක් වූ බවත් ඉගැන්වීමේ කටයුතු සිදුනොවූ බවත්  පැවසේ. විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති සේවයට පැමිණ රාජකාරියේ නිරතව සිටිති.

 ඊයේ දහවල්  විදුහල්   ක්‍රීඩා පිටියේදී නිවාසාන්තර ක්‍රීඩා පුහුණුවීම් සිදු කරද්දී  අනවසරයෙන් ක්‍රීඩා පිටියට පැමිණ සිටි ආදි සිසුන් පිරිසක් හා ගුරුවරුන් කිහිප දෙනෙක් අතර බහින් බස් වීමක් වී ඇත.

එයින්    එදින  සවස  පාසල නිමවී යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටි එක් ගුරුවරයෙකුට බෙන්තොට ඌරගස්මන්හංදිය මාර්ගයේ හොරවලදී  බහින් බස්වීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සිසුන් තිදෙනෙකු විසින් කුරුඳු පොලුවලින් පහරදී ඇතැයි පොලීසිය පැවසීය.

පහර කෑමට ලක්වූ එම ගුරුවරයා  බෙන්තොට රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ආදි සිසුන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව ඌරගස්මන්හංදිය පොලීසිය පැවසීය.

බෙන්තොට ඉඳුරුවගේ



Recommended Articles