ගම්පහ හෝටල් හා වෙළඳසැල් හදිසි පරික්ෂාවකට


ගම්පහ නගරයේ රාත්‍රී හෝටල් ඇතුලු වෙළෙඳසල් පරීක්ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැඩි අපිරිසිදු තත්ත්වයෙන් පැවති ස්ථාන 16 කට අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගනු ලැබූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි. 

ගම්පහ නගරයේ පවත්වා ගෙන යනු ලබන ඇතැම් හෝටල් සහ වෙළෙඳසල් නිසි ප්‍රමිතීන් අනුව නොවීම මෙන්ම දැඩි අපිරිසිදු තත්ත්වයෙන් පවතින බවට ලද මහජන පැමිණිලි මත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රොහාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම් සිදු කොට තිබේ. 

රාත්‍රී හෝටල්වලට අමතරව සුපිරි වෙළඳසල් පරීක්ෂාවට ලක් කිරීමේදී අලෙවියට තිබූ අපිරිසිදු තත්ත්වයෙන් යුත් මස් වර්ග මෙන්ම බලපත් රහිතව ඌරු මස් අලෙවියට තිබීම මත නඩු පැවරීමට පියවර ගෙන ඇත. 

තවද ඇතැම් හෝටල්වල ආහාර පාන සකස් කෙරෙන ස්ථානයන්හි ශීතකරණ තුල ලේ තැවරුණු මස් වර්ග , පිසු ආහාර , සකස්කළ කොත්තු රොටී සහ කට්ලට් වැනි ආහාර එකට තැබීම මත එම සියල්ල විනාශකර දැමීමට පරීක්ෂකවරුන් කටයුතු කොට ඇත. 

පරීක්ෂාවට ලක් කළ කිසිදු  හෝටලයකට වාර්ෂිකව ලබාගත යුතු සෞඛ්‍ය නිර්දේශ සහතික නොවූ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය. 

ගම්පහ ඇතුලු අවට ප්‍රදේශයන්හි පවත්වාගෙන යනු ලබන හෝටල් , බේකරි ඇතුලු ආහාර පාන සකස් කෙරෙන සහ අලෙවි කරනු ලබන ස්ථානයන්හි පවිත්‍රතාවයන් ඇතුලු තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඉදිරියේදී  ක්‍රියාත්මක කෙරෙන බවත් හෝටල් වර්ගීකරණය කොට ශ්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරියෙකු සදහන් කළේය. 

ගම්පහ නගරයේ සිදු කළ රාත්‍රී පරීක්ෂාව සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රොහාන් රණසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා ඇතුලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 16 දෙනෙකු සහභාගි වූහ. 

ගම්පහ තිලකරත්න දිසානායක
 


Recommended Articles