ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා රෝගීන් වාර්තා වීමේ අඩුවීමක්


ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඊයේ  දින සවස 4.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ , වාර්තා වන කොරෝනා ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන අඩු වීමක් ඇති බව , තමන් වෙත ලැබී ඇති සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමෙන් හෙළිදරව් වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

ඒ අනුව ඊයේ  දිනට පෙර , දිනපතා කොරෝනා ආසාදිත රෝගීන් 120 ක තරම් සීමාවකට වාර්තා වුවත් , ඊයේ දින එය කොරෝනා ආසාදිත රෝගීන් 61 දක්වා පහළ බැස ඇති බව ද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය .

මේ සදහා විවිධ හේතු බලපාන්නට ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය .

මෙසේ ඊයේ  දින  වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් අතරින් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 25 දෙනෙකු ද , කැළණිය කොට්ඨාසය තුළින් 10 දෙනෙකු සිටීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය .

ඒ අනුව ඊයේ  දින වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 3195 දෙනෙකු කොරෝනා දෙවන රැල්ල තුළින් මතු වී ඇති අතර , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 48,211 ක් සිදු කර ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .

මේ අතර වත්තල , කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් බඩු නිෂ්පාදන කම්හලේ සේවය කරන සේවකයින් 49 දෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වීමෙන් පසු , එම කම්හලේ සේවය කරන සේවකයින්  800 ක් පමණ මේ වනවිට ස්වයං නීරෝධායනය සදහා යොමු කර ඇති බව ද වාර්තා .

 



Recommended Articles