ගංවතුර වන්දි වෙනුවෙන් රු. බිලියනයක් වෙන්කළොත් අක්කරයකට ලැබෙන්නේ රු. 2600යි


වත්මන් ආණ්ඩුව ගංවතුරෙන් හානි වූ ගොවිබිම් සඳහා රුපියල් බිලියනයක මුදල් වෙන්කරන බවට ප්‍රකාශ කළද, ඉන් අක්කරයකට ලැබෙනුයේ රුපියල් 2600ක් වැනි සුළු මුදල් ප්‍රමාණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (02දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය. 

“පසුගිය දිනවල ඇති වුණ ගංවතුර තත්ත්වය හේතුවෙන් රටේ අක්කර තුන් ලක්ෂ අසූදහසකට ආසන්න ගොවිබිම් ප්‍රමාණයක් ජලයෙන් යටවෙලා තිබෙනවා. ගංවතුරෙන් හානියට පත් මෙම ඉඩම් සඳහා වන්දි ලබා දෙන්න රජය රුපියල් බිලියනයක් වෙන්කරලා තිබෙනවා. මේ අනුව එක අක්කරයකට රුපියල් 2600ක් වගේ සොච්චම් මුදලක් තමයි වෙන්කරලා තිබෙන්නේ.

ඉතින් රුපියල් බිලියනයක් ප්‍රමාණවත්ද ? මම දන්නේ නෑ ඒ රුපියල් බිලියනය වෙන් කළේ මොනවටද කියලා. කිසිදු පූර්ව අවධානයකින් තොරව, කිසිදු තක්සේරුවකින් තොරව රජය රුපියල් බිලියනයක් වෙන් කළා කියලා පුරසාරම් දෙඩුවට අක්කරයකට රුපියක් 2600ක් වගේ මුදලක් තමයි වෙන්කරලා තියෙන්නේ. මේක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ අයම කිව්වා රුපියල් 40,000ක ගෙවනවා කියලා. ඒ රුපියල් 40,000 ප්‍රමාණවත් නෑ කියන එකත් අපි දැක්කා. වෙන කවුරුත් නෙවෙයි ආදිවාසී නායක වන්නිල ඇත්තෝ ප්‍රකාශ කරලා තියෙනවා. 

අපිට දැන් කියන්න තියෙන්නේ නාමල් කරුණාරත්න ඇමති හූරට තමන්ගේ ටයි පොජ්ජ ගලවලා ගිහින් අමුඩ පොජ්ජක් ගහගෙන ගමේ තිබෙන කුඹුරකට බැහැලා, ඒ කුඹුර අඩුම ගානේ රුපියල් 40,000න් මොනවාද කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් හොයලා බලන්න. නිවැරදි තක්සේවක් නැතිව මේ විදියට අඳුරේ අතපත ගාන ආණ්ඩුව කෘෂිකර්ම ඇමති සහ නියෝජ්‍ය ඇමතිලා ගැන අපිට කනගාටුයි. ඉස්සර නාමල් කරුණාරත්න හොටු පෙරාගෙන ඇඬුවා. අමුඩ ගහගෙන පාරවල් ගානේ විලාප දුන්නා. පොල් ගැහුවා. දේව කන්නලව් කළා. අද නාමල් කරුණාරත්න ටයි පොජ්ජකුත් ගහගෙන රුපියල් 40,000ක් ගැන කියනවා. එක එක කුඹුරුවල වෙනම වන්දි තක්සේරුවක් කරන්න ඕනි. සමහර කුඹුරුවල අපි දැක්කා විශාල වළවල්.”



Recommended Articles