කෝප්, කෝපා කමිටු විගණන වාර්තා ගැන විගණකාධිපතිගේ අදහස


වාර්ෂිකව විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන2,500ක් පමණ වන විගණන වාර්තාවල නිර්දේශ 95%ක් පමණ ක්‍රියාත්මක නොවන බවත්, එය ඉතාමත් කනගාටුවට කරුණක් බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා අනාවරණය කළේය.

එය ක්‍රියාත්මක කිරීම සඳහා රට තුළ ක්‍රමවේදයක් නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම පැවසීය.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) යන කාරක සභා සඳහා අධිකාරීමට බලයක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් විගණකාධිපතිවරයා එහිදී යෝජනා කර සිටියේය.

කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් - අපි ඔඩිට් කරන්නේ ඊළඟ අවුරුද්දේ ඔඩිට් එකේදී නිවැරදි වෙන්නනේ. එහෙම මුකුත්ම ක්‍රමවේදයක් නැද්ද තවම ? 

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න – අපේ රටේ එහෙම ක්‍රමවේදයක් නෑ. ඒක තමයි ඇත්තටම මෙතන තියෙන කනගාටුම කාරණාව. මේක සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකට අයි.එම්.එෆ් එකත් මීට කලින් අවස්ථා ගණනාවකදී විගණකාධිපතිත් එක්ක සාකච්ඡා කරන්න ආවා. මගෙන් ඇහුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව කොහොමද කියලා. 95%ක්ම ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා කියන්න වුණේ.

විගණකාධිපතිවරයා වාර්ෂිකව වාර්තා 2500ක් විතර ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවලින් ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත්ම සුළු සංඛ්‍යාවක්. ඒක තමයි මහජනයා අතර බොහෝ විට මතයක් ඇවිල්ලා තියෙන්නේ මේවා නිකන් කතා පෙට්ටි කියන එක. අපිත් ඉදිරිපත් කරනවා, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් වෙනවා, අදාළ ආයතනවලටත් ඉදිරිපත් වෙනවා. නීතියේ තියෙනවා අදාළ ආයතනවල ප්‍රගතිය විගණකාධිපතිට දැනුම් දෙන්න කියලා. පාර්ලිමේන්තුවට අධීක්ෂණ කමිටු දෙකෙන් වාර්තා ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ විවාද කරලා අදාළ ආයතනවලට ඉදිරිපත් කරනවා. 

කෝප්, කෝපාවල ස්ථාවර නියෝගවලම තියෙනවා සති 08ක් ඇතුළත අදාළ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා මේ නිර්දේශ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න ඕනි කියලා. පාර්ලිමේන්තුවේ ඒ ගත්ත ක්‍රියාමාර්ගය පරික්ෂා කරන්න ක්‍රමවේදයක් නෑ. ඉන්පසු නැවත එනවා කෝප්, කෝපාවලට. ඊට පස්සේ කෝප්, කෝපාව ඒකට ක්‍රියාත්මක වන  ක්‍රමවේදයක් නෑ. ඒක නිසා ආයේ එනවා විගණකාධිපතිවරයාට. මේක සයිකල් එකක් වගේ කැරකි කැරකි යනවා. 

කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් -අඩුම තරමේ කෝප්, කෝපාවල ක්‍රියාකලාපයන්වල හරි වෙනස්කමක් කරන්න පුළුවන්ද ? 

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න – මම නම් කියන්නේ කෝප්, කෝපාවලට මීට වඩා අධිකාරීමය බලයක් දෙන්න ඕනි කියන එක. 



Recommended Articles