කොළඹ මහ නගරසභාව ඇතුළු ප්‍රාදේශිය සභා කිහිපයක මැතිවරණ පැවැත්වීම මැයි 16 වැනිදා තෙක් වළකාලමින් අභියහනාධිකරණය තහනම් නියෝගයක් අද (07) නිකුත් කළේය.
කොළඹ මහනගර සභාවට අමතරව කුලියාපිටිය, හාරිස්පත්තුව, උඩපළාත, පන්විල සහ පාතදුම්බර ප්‍රාදේශීය සභාවල මැතිවරණය පැවැත්වීම වළකාලමින් අභියහනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ නාම යෝජනා පත්‍ර බාර දීමේ කාලය ඉකුත්වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් ගොනුකොට තිබූ පෙත්සම් සලකා බැලීමෙන් පසුවය.
එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් එහි වගඋත්තරකරුවන්ට මැයි 16 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කළ අධිකරණය අදාල නියෝගය එදිනතෙක් බලපැවැත්වෙන බවද ප්‍රකාශ කෙරිණි.
අභියාචනාධාකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නියෝගය නිකුත් කළේය.
පෙතසම්වල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ තේරීම් බාර නිලධාරීවරු ඇතුළු පිරිසන් නම් කර ඇත.උප්පැන්න සහතිකය, සාමවිනිසුරුවරුන්ගේ සහතික කිරීම හේතුවෙන් ප්‍රතික්‍ෂෙප වු නාම යෝජනා පත්‍රවල වලට එරෙහිව ගොනුකොට තිබූ පෙත්සම 53 සම්බන්ධයෙන් අධිකරණය සලකා බැලීය.
පෙත්සම් කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බැවින් එම නියෝගය බලාත්මක බවත් ඒ අනුව මේ පෙත්සම් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ යුතු බවත් පැවසීය.
පළාත් පාලන මැතිවරණය කල්දැමීම හේතූවෙන් සිදුවන්නේ ජනතාවගේ බදු මුදල් නාස්ති වී තවත් රට අගාධයට පත්වීම බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුත්තේ සමහර නිලධාරීන් බවත් ඔහුගේ ක්‍රියාකලාපය මීට බලපාන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු වැඩබලන සභාපති විනිසුරු ලපාර් තාහිර් මහතා කියා සිටියේ නිතිපතිවරයාගේ තර්කය නිවැරදි බවත් දෙපාර්ශවයටම සාධාරණයක් කළ යුතු බවත් පැවසීය.
පෙත්සම්කාර පාර්ශ්වයේ සහ ජනතාවගේ ඇති අයිතිය සම්බන්ධයෙන්ද සලකා බලා දෙපාර්ශවයටම සාධාරණ තීන්දුවක් දිය යුතු යැයි කී වැඩබලන සභාපති විනිසුරු ලපාර් තාහිර් මහතා මැයි 16 වැනිදා පෙත්සම් සලකා බැලීමට තීරණණය කෙරිණී.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ චාමර කාරියවසම් මහතා සමඟ ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා, නිසාම් කාරියක්පර් යන මහත්තුරු පෙනී සිටියහ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා පෙනී සිටියේය.
සචිත්‍ර ගුණසේකර