කොරියාවේ කෙටිකාලීන රැකියා දෙන බව පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක්


E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටිකාලීන රැකියා (Seasonal Worker) ලබා දෙන බව පවසා, මුදල් වංචා කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 

දකුණු කොරියාවේ කෙටිකාලීන රැකියා ලබා ගැනීම සඳහා දකුණු කොරියාව හා ශ්‍රී ලංකා රජයන් දෙක අතර ගිවිසුම්වලට එළැඹිය යුතු බවත්, මෙතෙක් එවැනි ගිවිසුමකට එළැඹී නොමැති බවත්, කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා මහතා ප්‍රකාශ කරයි. 

2004 වර්ෂයේ සිට ශ්‍රී ලාංකිකයන්  EPS- E9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකරනු ලබනවා. ඒ වගේම පෑස්සුම්කරු (වෙල්ඩර්) රැකියාව සඳහා පුද්ගලික අංශය මගින් E7-4 යන වීසා කාණ්ඩය යටතේ පසුගිය කාලයේ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකරනු ලැබුවා. 

ඒ වගේම පසුගිය සමයේදී දකුණු කොරියාවේ කෙටිකාලීන රැකියා (Seasonal Worker) සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයන් යැවීම සම්බන්ධයෙන් අප සොයා බැලුවා. එහිදි අනාවරණය වුණේ කෙටිකාලීන රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමට අවශ්‍ය නම් දකුණු කොරියාවේ ප්‍රාන්ත සමග ශ්‍රී ලංකාවේ පළාත් සභා අදාළ ගිවිසුම්වලට එළැඹිය යුතු බවයි.

මෙම E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයන් දකුණු කොරියාවේ රැකියා සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා රජය මෙතෙක් කිසිදු තීරණයක් අරගෙන නෑ වගේම, කිසිදු ගිවිසුමකට මෙතෙක් එළඹිලා නෑ. ඒ අනුව කෘෂිකාර්මික හා ධීවර රැකියා සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයන් යොමු කිරීම සිදුවන්නේ නෑ. 

අපිට තොරතුරු වාර්තා වෙනවා විවිධ පුද්ගලයන් E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයන් දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා විශාල වශයෙන් මුදල් ලබා ගන්නා බවට. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරනවා ශ්‍රී ලංකා රජය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ වගේම දකුණු කොරියානු තානාපති කාර්යාලය දැනුම්දීලා තියෙනවා E-8 වීසා කාණ්ඩය යටතේ පෞද්ගලික අංශයට ශ්‍රමිකයන් යොමු කරන්න බෑ කියලා. මෙම රැකියා සඳහා යාමට කිසිදු අයෙකුට මුදල් ගෙවන්න එපා.” යනුවෙන් පැවසුවේය. 

එබැවින් E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල් ලබා දීමෙන් වළකින මෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයන්ගෙන් ඉල්ලා සිටියි. එසේ මුදල් වංචා කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන මෙන් කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 



Recommended Articles