කොතලාවල සරසවි සිසුන්ගේ බස් රථ අනතුරින් සිසුවියන් 2ක් මරුට 39ට තුවාල


බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී අද (1)උදෑසන කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන් ගත් බස්රථයක් මාර්ගයේ න් ඉවතට පැන වේල්ලක ගැටි පෙරලීයාමෙන් සිසුවියන් දෙදෙනකු මියගොස් 39 ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .

තුවාල ලැබූවන් අතර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරුන් තිදෙනකු , යුදහමුදා නිලධාරීන් දෙදෙනකු සහ සරසවි  සිසුවියන් 15ක් , සහ සරසවි සිසුන් 19 ක් සිට්න බවද පොලිසිය කීය .

තුවාලකරුවන් දැනට බදුල්ල ශික්ෂණ රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ , වාට්ටු අංක 9, 10, 15 වාට්ටු වල ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද ඔවුන්ගේ කිහිපදෙනක් ගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග  සදහන් කළේය .

කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ  මෙම සිසුන් ඊයේ (31) බදුල්ල ට පැමිණ ඇල්ල ප්‍රදේශයේ ගොස් පසුව පස්සර පැල්ගහතැන්න ප්‍රදේශයේ නවාතැන් ගෙන අද (1)උදෑසන පුහුණු වැඩසටහනකට බදුල්ල හරහා රන්දෙණිගල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය .

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ පල්ලමේ ධාවනය වෙමින් තිබූ මෙම බස්රථය හදිසියේ ඇති වූ කාර්මික දෝශයක් නිසාවෙන් රියදුරු  බස්රථය වේල්ලකට අල්ලා නවතා ගැනීමට උත්සහ කිරීමේදී වේල්ලෙ ගැටි බස්රථය පෙරලි ඇති බවත් පොලිසිය සදහන් කළේය .

අනතුර සිදු වීමත් සමඟ ක්ෂණිකව එම ස්ථානය ට ගිය බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා රෝහල්  කාර්ය මංඩලය මහත්වෙහෙසක් දරමින් ප්‍රදේශ වාසින් සමග එක්වී බස්රථය තුළ සිරවී සිටි තුවාලකරුවන් ඉවතට ගෙන ගිලන් රථ වලින් බදුල්ල ශික්ෂණ රෝහලට රෝගින් යැවීමට යුහුසුළුව කටයුතු කලහ.

බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දි වෛද්‍යවරුන් ,හෙද කාර්ය මංඩලය ඇතුලු සෞඛ්‍ය කාර්ය මංඩලය එක්වී රෝගින් ට ප්‍රතිකාර කිරිමට යුහුසුළුව කටයුතු සිදු කලහ .

කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ.ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් මෙසේ අනතුරට මුහුණ පා ඇති බවත් , ඔවුන් සිය අධ්‍යාපන පුහුණු වැඩසටහන කට රන්දෙණිගල බලා යමින් සිට ඇතැයි පොලිසිය සදහන් කළේය .

අනතුරින් බස්රථය ට දැඩි ලෙස අලාභහානි වී ඇත.

තුවාල ලැබූ මෙම සරසවි සිසුන් බදුල්ල , රත්නපුර, කෑගල්ල , පාදුක්ක  ,අවිස්සාවේල්ල , අලව්ව, කුරුණෑගල ආදි දිවයිනේ ප්‍රදේශ රැසක පදිංචි අයවලුන් බවද පොලිසිය පවසයි .

මෙම අනතුරින් මියගිය සරසවි  සිසුවියන් දෙදෙනා මෙතෙක් හදුනාගෙන නොමැත.

එම මළසිරුරු හදුනාගැනිම සදහා  බදුල්ල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

ඇල්ල ප්‍රසාද් රුක්මල්



Recommended Articles