කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ගිල දමා පැමිණි සියරාලියොන් ජාතිකයෙක් අල්ලයි


කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු 11/12 දින කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු සියරාලියෝන් හි වාසය කරන 32 හැවිරිදි වී ගොවියෙකි. මොහු 11/12 දින අලුයම 05.49 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ පිටව යාමට පැමිණි මෙම ගුවන් මගියා පිළිබඳ සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් , මොහු පරිලෝකන පරීක්ෂා කිරීමකට ( Scan Test ) ලක් කිරීමේ දී , මොහුගේ ආමාශය තුළ , කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණ ඇති බව අනාවරණය වී තිබේ .

ඒ අනුව අත් අඩංගුවට ගත් මෙම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබූ අතර , එම නිලධාරීන් , මෙම ගුවන් මගියා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි .

එහිදී එම රෝහලේ වෛද්‍යවරුන් ගුවන් මගියාට , විරේක බෙහෙත් ලබා දෙමින් , 11/13 දින උදෑසන 09.00 වනවිට රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා  කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 56 ක් පිටතට ගැනීමට සමත් වී තිබේ .

 කොකේන් මත්ද්‍රව්‍ය ගුලි , විදේශීය රටවල යන්ත්‍රානුසාරයෙන් , ඉතා ආරක්ෂාකාරීව නිෂ්පාදනය කරනු ලබන බවත් , මෙම ගුවන් මගියා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 80 ක් පමණ ගිල දමා ඇති බවත් , කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

ඒ අනුව තවදුරටත් මොහුගේ ආමාශය තුළ ඉතිරි වී ඇති කොකේන් මත්ද්‍රව්‍ය ගුලි , පිටතට ගැනීම සදහා මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන් ප්‍රයත්න දරමින් සිටිති .



Recommended Articles