කෙහෙළියගේ පුත් රමිත්ගේ නිවාස දෙකක් තහනම්


බාල බෙහෙත් ජාවාරමේ සැකකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට අයත් කොළඹ ප්‍රධාන පෙළේ නිවාස සංකීර්ණයක පිහිටි සුඛෝපභෝගී නිවාස දෙකක් තහනම් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (19) නියම කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අයථා අන්දමින් මුදල් හා දේපල උපයා ගැනීමේ විමර්ශන අංශය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත්තේ රමිත් ලක්සෙන් බණ්ඩාර රඔුක්වැල්ල නමැත්තා බව දැනුම් දුන්නේය.
රමිත් රඔුක්වැල්ල නමැත්තා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ ‘කැපිටල් රෙසිඩන්සීස්’ නිවාස සංකීර්ණයේ 10 වැනි මහලේ සහ 11 වැනි මහලේ පිහිටි නිවාස දෙකෙන් එකක් රුපියල් මිලියන 80කටද අනෙක රුපියල් මිලියන 65කටද මිලදී ගෙන ඇතැයි දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහු ඔප්පු දෙකේම සඳහන් කර ඇත්තේ එක් නිවසක් රුපියල් මිලියන 50 බැගින් නිවාස දෙකම මිලදී ගෙන ඇති බවට යැයිද දැනුම් දුන්නේය.
 රමිත් රඔුක්වැල්ල නමැත්තා මිලදී ගෙන ඇතැයි කියන මෙම අති නවීන නිවාස දෙක මිලදී ගෙන ඇත්තේ අයථා ලෙස උපයා ගත් මුදල් වලින්ද? යන්න සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විරෝධී පනතේ 53 (2) යටතේ විමර්ශන කරන බව දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීන් විමර්ශන කරන අතරතුර මෙම නිවාස දෙක වෙනත් පාර්ශවයකට විකිණීමට, අන්සතු කිරීමට හෝ පැවරීමට හැකියාව ඇතැයිද පෙන්වා දුන්හ.
එහෙයින් මෙම නිවාස දෙක වෙනත් පාර්ශවයකට විකිණීම, අන්සතු කිරීම හෝ පැවරීම වළකාලමින් තහනම් නියෝග නිකුත් කරන්නැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉල්ලා සිටියහ.
ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා ලබන දෙසැම්බර් 19 වැනිදා බලපැවැත්වෙන අන්දමට අදාළ නිවාස දෙක වෙනත් පාර්ශවයකට විකිණීම, අන්සතු කිරීම හෝ පැවරීම වළකාලමින් තහනම් නියෝග නිකුත් කළේය.

 



Recommended Articles