කුවේට් සිට ආපු ශ්‍රී ලන්කන් යානයේ ගුවන් සේවිකාවකට පරුෂ වචනයෙන් බැන්න ගුවන් මගියෙක් අත්අඩංගුවට


කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයෙහි සේවයේ නිරත වී සිටි ගුවන් සේවිකාවකට එහි ගමන් ගත් මගියෙකු  අතින් ඇද පරුෂ වචනයෙන් බැණ වැදීමේ සිදු වීමක් පිළිබඳ එම ගුවන් මගියා අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අද (30දා) ආරම්භ කර තිබේ .

 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානය 30 දින අලුයම 02.00 ට පමණ කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ගුවන් තොටුපොළෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් වී තිබේ .එම ගුවන් යානයෙහි හොරණ , පොකුණුවිට පාරේ පදිංචි 35 හැවිරිදි නලීන් සම්පත් නමැති පුද්ගලයා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීම සඳහා අංක 11 ජී නැමැති ආසනයෙහි අසුන් ගෙන ඇත .

 මෙම ගුවන් යානය පිටත් වී පැය 03.30 කට පසුව එහි ගමන් ගත් ගුවන් මගීන්ට ආහාරපාන ලබා දී , ඒවා පිරිනැමූ භාජන ඉවත් කිරීම ආරම්භ කර ඇත .එහිදී මෙම ගුවන් මගියාගේ ආහාරපාන ලබා දුන් හිස් භාජන ඉවත් කර ගැනීමට සූදානම් වනවිට රණවක ආරච්චිගේ රිද්මා උදේනි කරුණාරත්න නමැති ගුවන් සේවිකාවගේ වම් අත , මැණික් කටුව සහ වැලමිට අතර ප්‍රදේශයෙන් තදින් අල්ලා , පරුෂ වචනයෙන් ද බැණ තිබේ .

මෙම ගුවන් සේවිකාව මේ පිළිබඳ වහාම ගුවන් යානා කාර්යය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඔවුන් ගුවන් නියමුවා දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත. ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් මගියා අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත .

මෙසේ අත් අඩංගුවට ගත් මෙම ගුවන් මගියාට මඳ වේලාවකට පසුව ගුවන් තොටුපොළ පොලීසියෙහි දී හෘදයාබාධයක් වැළඳීම නිසා මේ වනවිට මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ .මෙසේ හිංසනයට ලක් වූ ගුවන් සේවිකාව ද මේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ සඳහා මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත පොලීසිය විසින් ඉදිරිපත් කර තිබේ .

මේ අතර මෙම ගුවන් මගියාගේ බිරිඳ ප්‍රකාශයක් සිදු කරමින් තම සැමියාට ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් පහර දී ඇති බවට චෝදනාවක් කළාය . තම සැමියා වසර 14 ක කාලයක් කුවේට් රාජ්‍යයේ කොරියානු නූඩ්ල්ස් නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවය කරමින් සිටින බවත්, ඔහු හෘදයාබාධයකින් පෙළෙන නිසා මෙසේ වරින්වර කොළඹට පැමිණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන බවත් පැවසුවාය .

 මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායක මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් , පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු සහ කාන්තා පොලිස් සැරයන් 2788 හේරත් යන නිලධාරීන් විසින් සිදු කෙරේ .

 මෙය ගුවන් මගියා ගුවන් අවකාශය තුළ සිදු වූවක් බැවින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට ඇප දීම නීතිපතිවරයා විසින් තීරණය කළ යුතු බව කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපතිවරයා පැවසීය .



Recommended Articles